මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා හම්බන්තොට වරාය මහඟු තෝතැන්නක්
බව, හම්බන්තොට වරායට මෙතෙක් පැමිණි විශාලතම නෞකාව වූ රොටඩෑම් නෞකාවේ
කපිතාන් මාර්කෝ
කාර්ස්ජෙන්ස් පවසයි. හම්බන්තොට වරාය හරිත වරායක් ලෙස
සංචාරකයින්ගේ සිත් දිනාගෙන ඇති බවද ඔහු අවධාරණය කළේය.
“රොටඩෑම් වගේ විශාලත්වයෙන් යුත් අධි සුඛෝපභෝගී නෞකා සඳහා හම්බන්තොට
වරායෙහි දැන් පහසුකම් තියෙනවා. මෙය අපිට ඉතා හොඳ අත්දැකීමක්. ඒවගේම මේ වරාය
මගී ප්‍රවාහන සංචාරක නෞකා සඳහා හොඳ තෝතැන්නක්. ශ්‍රී ලංකාවේ දකුණු
ප්‍රදේශය පිළිබඳ මනා අත්දැකීමක් ලබාගැනීමට කැමති ඕනෑම පුද්ගලයෙකුට
හම්බන්තොට වරායට පැමිණෙන්න පුළුවන්. මේ වරායේ සිට යාල ජාතික වනෝද්‍යානයට
ළඟා වෙන්න යන්නේ මිනිත්තු 40යි. බූන්දල කතරගම සමීපයෙන් තියෙන්නේ. ඒ නිසා
කොළඹ සහ ඒ අවට ප්‍රදේශය නැරඹීමෙන් ඔබ්බට ගොස් නව අත්දැකීම් සොයන ඕනෑම
පුද්ගලයෙකුට හම්බන්තොටට පිවිසීම විශාල අත්දැකීමක් වෙනවා.
ඉතාම පැහැදිලිව
හම්බන්තොටට පැමිණෙන බොහෝ පිරිස් අවට පිහිටි සංචාරක ගම්මාන වෙත යන්න ලොකු
කැමැත්තකින් දක්වනවා. විශේෂයෙන් වනසතුන් නැරඹීමට ඔවුන් ඉතාම ප්‍රියයි. මේ
හේතු නිසා ශ්‍රී ලංකාව පිළිබඳව ඔවුන් තුළ යහපත් ආකල්පයක් තිබෙනවා. නැවත
වරක් හම්බන්තොට වරායට පැමිණීම අපේ අපේක්ෂාවයි…..” යැයිද කැප්ටන් කාර්ජෙන්ස් වැඩිදුරටත් පැවසීය.


හම්බන්තොට වරායට මෙතෙක් පැමිණි විශාලතම සුඛෝපභෝගි මගී ප්‍රවාහන නෞකාව
හම්බන්තොටින් පිටත්ව ගියේ අද අලුයමයි. නෙදර්ලන්තයට අයත් එම අධි සුඛෝපභෝගි
නෞකාවේ දිග මීටර් 238 ක් වේ. කාර්ය මණ්ඩලයද 600 ඉක්මවයි. අමෙරිකා ඩොලර්
මිලියන 2 ක වටිනාකමකින් යුත් පෞරාණික භාණ්ඩ සහ දෘශ්‍ය කලාකෘති මෙම නෞකාවට
එක්කර ඇත්තේ සෞන්දරාත්මක වටිනාමකි.

නෞකාවෙන් මෙහි පැමිණි මගීන් සඛ්‍යාව
1176 කි. ඔවුන්ගේ මීළඟ නැවතුම් ස්ථානය වන්නේ මියන්මාරයේ තල්ලාවා (Thllawa)
වරායයි. දින 90ක සංචාරයෙන් අනතුරුව මෙම නෞකාව යළි නෙදර්ලන්තයට පැමිණීමට
නියමිතව තිබේ. රොටඩෑම් නෞකාවේ මෙරට ඒජන්ත ආයතනය වූ මොල්ෂිප් සිලෝන් ලිමිටඩ්
ආයතනයේ සාමාන්‍යධිකාරි සහීඩ් මොහිදීන් මහතා පැවසුවේ මේ වන විට හම්බන්තොට
වරාය වෙත අලුත් නෞකා රැසක් පැමිණීමට නියමිත බවයි. මගී ප්‍රවාහන සංචාරක නෞකා
සඳහා හම්බන්තොට වරාය ආශ්‍රිතව පහසුකම් ඉහළ මට්ටමකින් තිබෙන බවද ඔහු
පැවසීය. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා හම්බන්තොට වරාය යොදා ගන්නා
ලෙසටද ඔහු සියලු පාර්ශ්වයන් වෙත විවෘත ආරාධනාවක්ද කළේය.
– තමීර මංජු