ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, January 3, 2016

බණ්ඩාරේ ඔබ කොතැන ද බණ්ඩාරේ...!!!

අද (3) වැනිදාට යෙදෙන බණ්ඩාර කේ. විජයතුංග කලාකරුවාගේ 26 වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි.
මමයි දුම්රිය
ඇයි ඔබ පිපුණේ
රේල් පීල්ල උඩ


බණ්ඩාර කේ. විජයතුංග ලියූ කෙටි කවක් මා සිහියට එයි. ඔහු එය ලීවේ තමාගේ ‘නෙත් දහස’ නම් වූ කාව්‍ය සංග්‍රහයට ය. එම කවිය ප්‍රකට කරන්නේ ජපන් හයිකු සම්ප්‍රදායයෙන් කවියා ලද නොමඳ ආභාසයයි. මෙරටට සිංහල හයිකු කවි හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ බණ්ඩාර කේ. විජයතුංගට බව ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි, බණ්ඩාර ගේ ‘සුළඟ වගේ ඇවිදින්’ ගී සංග්‍රහයට පසුවදනක් ලියමින් කියා ඇත. එසේ ම එකී ගී සංග්‍රහයට දීර්ඝ ප්‍රස්තාවනාවක් ලියන මහාචාර්ය සුනිල් ආරියරත්න, බණ්ඩාර හයිකු කවියෙන් ආභාසය ලත් මුල් ම කවීන් කීපදෙනාගෙන් කෙනකු විය යුතු යැයි කියයි. ඉහත ප්‍රකාශ දෙකෙන් එක්කෝ එකක් නිවැරදි ය. නැතිනම් දෙකම නිවැරදිය. බණ්ඩාරගේ තවත් හයිකු ශෛලියේ කවියක් සමන් අතාවුදහෙට්ටි මෙසේ සටහන් කරයි.

චිත්‍රානි
පෙරුම්පුරා බස් නැවතුමට
ආ සඳ
‘එකසිය දොළහ’ ඔබ ගිලගෙන

බණ්ඩාර ගැනත් ඔහුගේ කාව්‍ය නිර්මාණයක් ගැනත් මා සාවධාන වූයේ ඔහුගේ 26 වැනි ගුණානුස්මරණය අදට (03 වැනිදාට) යෙදී තිබෙන බැවිනි. බණ්ඩාර මිය ගියේ 1990 වසරේ ජනවාරි මස 3 වැනිදා ය. බණ්ඩාර මුලින් හැඳින්වුණේ ආනන්ද කේ. විජේතුංග යන නාමයෙනි.
සෙනරත් බණ්ඩාර ආනන්ද කුලතිලක විජේතුංග ඔහුගේ සම්පූර්ණ නම විය. ආනන්ද, බණ්ඩාර වූයේ ප්‍රේම පලහිලව්වක් නිසා බව මම අසා ඇත්තෙමි. ඔහුට පිටුපෑ පෙම්වතිය ජීවිතයෙන් සදහටම අමතක කිරීම සඳහා ඔහු තම නම පවා වෙනස් කර ගත්තේලු.
උපන්නේ 1939 ජනවාරි 28 වැනිදා කුරුණෑගල වැලිගන්වත්තේ දී ය. බදුල්ල සාන්ත බීඩ් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද බණ්ඩාර පසුව කොළඹ ආනන්ද විදුහලට ඇතුළු වූයේ ය. ඔහු ආනන්ද විදුහලේ සිටියදී ලේඛන කලාවෙන් හා චිත්‍ර කලාවෙන් දැක්වූයේ අසමසම කුසලතාවකි.
බණ්ඩාර කලා ක්ෂේත්‍ර කීපයකින් ම ප්‍රතිභාව පෑවේය. ඔහු ලේඛකයෙකි; කවියෙකි; චිත්‍ර ශිල්පියෙකි; අකුරු නිර්මාණ සැලසුම් ශිල්පියෙකි; ගීත රචකයෙකි; නිවේදකයෙකි; චිත්‍රපට ප්‍රචාරක සැලසුම් ශිල්පියෙකි; ගුවන් විදුලි නාට්‍ය රචකයෙකි; ගුවන් විදුලි නාට්‍ය නළුවෙකි.
බණ්ඩාර ගේ කුසලතා මුලින් ම මතු වූයේ ලේඛන කලාවෙනි. ශ්‍රීයා රත්නකාර මහත්මිය සංස්කරණය කළ ‘වනිතා විත්ති’ පුවත්පතට ඔහු ලිපි ලිව්වේ ආනන්දනී විජයතුංග යන ස්ත්‍රී නාමයෙනි.
එකල මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, සුනන්දා මහේන්ද්‍ර නමින් ද කරුණාරත්න අමරසිංහ, කරුණා අමරසිංහ නමින් ද, අසෝක කොළඹගේ, අසෝකා කොළඹගේ නමින් ද, අජන්තා රණසිංහ එම නමින් ද එලෙස කාන්තා පුවත්පතක් වූ ‘වනිතා විත්ති’ යට ලිපි ලියූ බව මෙහිදී සිහිපත් කළ හැකි ය.
බණ්ඩාර ලියා ඇත්තේ එකම එක කාව්‍ය සංග්‍රහයකි. ‘නෙත් දහස’ නම් වූ එය 1963 දී පළවූයේ ය. පහත එන්නේ ඉන් එක් කවකි.
ඊට පස්සෙ
කිව්වා ඔබ
‘පිස්සුද ඔයාට?’
ඔබෙ වදන
සැබෑ බව
අදත් මම
පිළිගනිමි
නමුත් ඔබ
නොදන්නෙහි
මගේ ඒ
පිස්සුවට මුල්වුණේ
ඔබම බව

පෙරද දැක්වූ පරිදි බණ්ඩාර චිත්‍ර ශිල්පියෙක් ද වූයේ ය. ඔහු පාසල් අවදියේ සිට ම චිත්‍ර කලාවෙන් ද දස්කම් පෑවේය. තමාගේ ‘නෙත් දහස’ කාව්‍ය සංග්‍රහයේ මෙන් ම අජන්තා රණසිංහ ගේ ‘තිවංක රේඛා’ ගී සංග්‍රහයේ ද කංචුක නිර්මාණය බණ්ඩාරගෙනි.
බණ්ඩාර නොනැවතී දිගටම චිත්‍ර කලාව දියුණු කරගත්තේ නම් ඔහු අපූර්ව ස්වතන්ත්‍ර ශෛලියක් ඇති අනන්‍ය ලක්ෂණයෙන් යුත් කෘතහස්ත චිත්‍ර ශිල්පියෙකු වනු නොඅනුමාන බව කරුණාරත්න අමරසිංහ කියා ඇත. (අමර සමර ‘ලක්බිම’ 2003 ජනවාරි 19)
බණ්ඩාර ප්‍රතිභාසම්පන්න ගීත රචකයෙක් වූයේය. ඔහුගේ ‘නෙත් දහස’ කාව්‍ය සංග්‍රහයේ දී ඔහු ආචාර්ය අමරදේව, ඇන්ජලින් ගුණතිලක, ටියුඩර් කඳනආරච්චි යන ගායක ගායිකාවන්ට ලියූ ගීවල පදමාලා දක්නා ලැබේ. එච්.ආර්. ජෝතිපාල ගයන ‘මහද නමැති වනබඹරා’ ‘සමන්මල් පියල්ලේ’ ‘මිල්ටන් මල්ලවආරච්චි ගයන ‘හද උතුරා ගංගාවේ’ ‘ඔබ වෙනුවෙන් ලියූ දහසක් ගී’ ‘ඔබයි මමයි මැවූ සිහින’, ‘ක්‍රිස්ටෝපර් පෝල් ගයන ‘රුවන් තොරන් තනා’ ‘මුළු ලෝකේ පුරා’, ජී.එස්.බී. රාණි පෙරේරා ගයන ‘ආයුබෝවන් - ආයුබෝවන්’ වැනි සරල පෙම් ගීත ද වික්ටර් රත්නායක ගයන ‘සඟවා ගනු මැන’ ‘මගෙ හද ඔබෙ ළඟ’ ‘සත්සමුදුරු තරණය කොට’ සනත් නන්දසිරි ගයන මහද පෙම් විලේ’ ‘දිනෙන් දින ඔබ වෙතින්’ ‘හමුවෙමු සුවබර තවත් සැඳෑවක’ වැනි කිසියම් ගැඹුරක් ඇති ගීත ද බණ්ඩාර ලියා ඇත. පණ්ඩිත් අමරදේව හා වික්ටර් රත්නායක ගයන ‘ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා’ ගීතය ද පණ්ඩිත් අමරදේව හා සනත් නන්දසිරි ගයන ‘විකසිත නයනින්’ ගීතය ද බණ්ඩාර ගේ විචිත්‍ර ප්‍රබන්ධය. ‘මිහිදුම් සළු තිර’ (සුනිල් එදිරිසිංහ - නීලා වික්‍රමසිංහ) ‘සබඳකමක් නැති’ (නීලා වික්‍රමසිංහ) ගී දෙක ද බණ්ඩාර ගේ ගීත රචනා අතර වෙයි.
බණ්ඩාර ලියූ ගී සියල්ල විචාර පූර්වකව අවලෝකනය කරන කල්හි ඉන් බොහෝමයක් ම අසම්මත ප්‍රේමය හා ඉන් පැනනඟින විවාහ සංස්ථා අධිකාරය තේමා කරගත්තක් බව පෙනී යයි. බණ්ඩාරගේ මේ ගීත ඔහුගේ ම පෞද්ගලික අත්දැකීම් ද ඒ පිළිබඳව අපට කිසිවක් කිව නොහැකිමුත් ගුවන් විදුලියේ ‘එකෝමත් එක දවසක’ නම් වූ වැඩසටහනට (1989 සැප්තැම්බර් 19 දින) දුන් සම්මුඛ සාකච්ඡාවකදී තම ගීතවල පද රචනා බොහෝමයක් ම තම ජීවිතයට සම්බන්ධ වූ ඒවා බව බණ්ඩාර කියා ඇත. ජීවිතයේ අප්‍රමාණ දුක්ඛවේදයිතයන්ට ඔහු මුහුණ දී ඇති ආකාරය එම ගී වලින් පෙනී යයි.
බණ්ඩාර චිත්‍රපට කීපයකට ම ගීත රචනා කර ඇත. ‘රිදී නිම්නය’, ‘බිත්ති හතර’, ‘ආශා දෑසින්’, ‘මල් කැකුළු’, ‘සුද්දා’ ‘මධු සමය’, ‘දිනුම’ ‘ශ්‍රී මදාරා’, ‘පොඩිමල්ලි’, ‘බංගලි වළලු’ බණ්ඩාර ගී ලියූ සිනමාපට කීපයකි. එයින් ‘රිදී නිම්නය’ චිත්‍රපටයට ඔහු ලියූ ‘සුළඟ වගේ ඇවිදින්’ ගීතය සඳහා 1984 හොඳම ගීත රචකයා සඳහා වූ ජනාධිපති සම්මානය හිමිකර ගත්තේ ය. ‘මා ද ඔබම විය’ (මධුසමය) ‘යාළුයි අපි යාළුයි’ (සුද්දා), ‘විකසිත පැතුමන් ඔබේ ළයේ (ආශා දෑසින්) ‘මල් රොන් වයසේ’ හා ‘ඩිංඩොං ඕ බේබි සින්ග් අ සෝන්ග්’ (දිනුම)
බණ්ඩාර චිත්‍රපටවලට ලියූ ජනකාන්ත ගීත කීපයකි.
බණ්ඩාර වෘත්තියෙන් මහ බැංකුවෙත් ජාතික චිත්‍රපට සංස්ථාවෙත් සේවය කළත් ඔහු කාලාන්තරයක් ගුවන් විදුලියේ සහන නිවේදකයකු ලෙස කටයුතු කෙළේ ය. ආනන්ද මහා විදුහලේ ඉගෙනුම ලබන අතරතුර දීම ඔහු කරුණාරත්න අබේසේකර මෙහෙයවූ ‘සරස්වතී ළමා මණ්ඩපයට’ සහභාගි වූයේ ය. විජිතානන්ද මැණික්දිවෙල මෙහෙයවූ ‘බෝසත් ළමා ළපටියෝ’ සරත් විමලවීර මෙහෙයවූ ‘ළමා රංගපීඨය’, කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මෙහෙය වූ ‘රේඩියෝ සඟරාව‘ වැනි විචිත්‍රාංගයන්ට ද බණ්ඩාර නොයෙක් ආකාරයෙන් නිර්මාණශීලී දායකත්වය සැපයූවේ ය.
බණ්ඩාරට තිබුණේ ඉතාම ගැඹුරුවූත් භාව පූර්ණවූත් කටහඬකි. ගුවන් විදුලියේ දී ඔහු නිවේදකයකු ලෙසත් ගුවන් විදුලි නාට්‍ය නළුවකු ලෙසත් දක්ෂතා ප්‍රකට කළේ ය.
නිවේදකයකු ලෙස ඔහු සුවිශාල ප්‍රතිභාවක් පෑවේ චිත්‍රපට ප්‍රචාරක ශිල්පයේ ය.
ගුවන් විදුලියෙන් බැහැරව ඔහු වඩාත් කැපී පෙනුනත් වික්ටර් රත්නායක ගේ ‘ස’ සංගීත ප්‍රසංගයේ නිවේදකයකු ලෙස ය. තමන්ට ම ආවේණික වූ නිවේදන කලා ශෛලියක් බණ්ඩාරට පිහිටා තිබිණි.
ප්‍රසංග නිවේදන කලාවේදී ද බණ්ඩාර හයිකු කාව්‍ය සම්ප්‍රදායය අනුගමනය කරමින් ගීතවලට ඉතාම කෙටි හැඳින්වීම් නිවේදන ඉදිරිපත් කෙළේ ය. වික්ටර් රත්නායකගේ ‘මාලිනියේ’ ගීතය ඔහු හඳුන්වාදුන්නේ මෙසේ ය.
පතිවත රකිනා කුල කුමරියන් ද ලොව ඇත.
ඇත...? අපි එසේ සිතමු.
‘ගුවන් විදුලි රඟමඩල’ යටතේ නිෂ්පාදිත නාට්‍ය ගණනාවකට ම බණ්ඩාර තම හඬ එක් කළේ ය. විශේෂයෙන් කපිල කුමාර කාලිංග ලියූ සුගතපාල ද සිල්වා නිෂ්පාදනය කළ ‘මකරාගේ තානායම’ නාට්‍යයේ ඔහු නිරූපණය කළ සුදු රැවුලාගේ චරිතය අදටත් ගුවන් විදුලි නාට්‍ය ලෝලයන්ගේ මතකයෙන් ගිලිහී ගොස් නැත.
බණ්ඩාර ඉදහිට ගුවන් විදුලි නාට්‍යය රචනා කළේ ය.
එහි දී ඔහු වඩාත් සුවිශේෂත්වයක් දැක්වූයේ ප්‍රබන්ධ නාට්‍ය රචනා කිරීමට ය. මෙරට ගුවන්විදුලියේ විද්‍යා ප්‍රබන්ධ නාට්‍ය රචනයේ පුරෝගාමියා ඔහු ය.
චිත්‍රපට ප්‍රචාරක ශිල්පියකු වශයෙන් ද බණ්ඩාරගේ කාර්ය සාධනය අපේ විචාරක්ෂියට යොමුවුව මනාය. චිත්‍රපට සමරු කලාප සංස්කරණයෙන්, චිත්‍රපට ප්‍රචාරක පාඨ (ස්ලෝගන්) නිර්මාණයෙන්, ගුවන්විදුලියේ චිත්‍රපට වෙළෙඳ දැන්වීම්වලට හා චිත්‍රපට පූර්ව ප්‍රචාරක පට (ට්‍රේලර්ස්) වලට හඬ මුසුකිරීමෙන් ඔහු ඊට දායක වූයේ ය. ‘රන්මුතුදූව‘ ‘ගැටවරයෝ’, ‘වැලිකතර’ බණ්ඩාර සංස්කරණය කළ චිත්‍රපට සමරු සංග්‍රහයන් ය. ස්වර ප්‍රස්ථාර සහිතව ගීත ද ඇතුළත් මෙරට මුල් ම චිත්‍රපට කළඹ ‘රන්මුතුදූව‘ බව මහාචාර්ය සුනිල් ආරියරත්න කියයි. (සුළඟ වගේ ඇවිදින්’ ගීත සංග්‍රහයේ ප්‍රස්තාවනාව)
බණ්ඩාර නිර්මාණය කළ චිත්‍රපට ප්‍රචාරක පාඨ අදත් අපේ මතකයේ රැඳී පවතී. ‘රජ දැක්මට අවසරද?’ (වැලිකතර) ‘එක් වැසිබර අඳුරු රැයක් තෙක් ඇය පිවිතුරු වතුසුදු මලක්’ (එයා දැන් ලොකු ළමයෙක්) ‘යුක්තිය රජයන ලොවකට මා රැගෙන යන්න උතුමාණෙනි! (උතුමාණෙනි) ‘ඔබ දෑතට රන් මුතුවක් - මා දෑතට විලංගුවක් එයයි සොහොයුරිය මාගේ පරිත්‍යාගය” (පරිත්‍යාගය) ‘ඔබත් මාත් උපදින්නේ, පිහිනන්නේ එකම මුහුදක, ඔබත් මාත් මිය යන්නේ එකම වෙරළක වැල්ලක’ (බඹරු ඇවිත්)
චිත්‍රපට ප්‍රචාරක පාඨ රචකයකු ලෙස බණ්ඩාර වඩාත් කැපී පෙනුණේ හින්දි චිත්‍රපටවලට ලියූ ප්‍රචාරක පාඨවලදී ය. ‘හඳ බැඳි විකසිත ආදරය තේමා ගීතය’ (ගීත්) ‘ඔවුන් දෙදෙන එක් කළේ ද ගීතයයි - ඔවුන් දෙදෙන වෙන් කළේ ද ගීතයයි (අභිමාන්) ‘ළඳුනි මට සමාවන්න’. මා ඔබට ද්‍රෝහි වූවා නොවේ’ පියකු නැති දරුවකුට පියෙක් වූවා පමණි’ (දාග්) පේරාදෙණි විශ්ව විද්‍යාලයයේ වීරසූරිය සිසු ඝාතනය පසුබිම් කරගෙන ‘දාග්’ චිත්‍රපටයේ ප්‍රචාරක පාඨය මෙසේ වෙනස් වූ බව සමන් අතාවුදහෙට්ටි ලියූ ලිපියක කියා සිටී. සිසුනි මට සමාවන්න! මා ඔබට ද්‍රෝහි වූවා නොවේ. වීරසූරියට වෙඩි තැබුවා පමණි.”
‘බොබි’ නම් වූ ශ්‍රී ලංකා - පාකිස්තාන් හවුල් නිපැයුමකට ඔහු ලියූ ප්‍රචාරක පාඨයක් මෙසේ ය. ‘අහිංසකාවියක රිදවන්න අනික රිදවුම ඇයට නොව ඇය රිදවූ ඔබටයි.’
‘ගීත්’, ‘අභිමාන්’ වැනි හින්දි චිත්‍රපටවල ජනප්‍රියත්වයට විවිධාකාර හේතු තිබුණ ද ඉන් එක් හේතුවක් ලෙස බණ්ඩාර එම සිනමාපට වෙනුවෙන් ලියූ ප්‍රචාරක පාඨ ද සැලකිය හැකි යැයි මම සිතමි. ඒ බව එවක ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරි හා විධාන විධායක නිලධාරියා වූ ඩී.බී. නිහාල්සිංහ බණ්ඩාරට දී ඇති වෘත්තිය සහතිකයක් ද සාක්ෂි දරයි. එහි කියැවී ඇත්තේ ‘ගීත්’, ‘අභිමාන්’ වැනි හින්දි චිත්‍රපට ආදායම් වාර්තා බිඳ හෙළමින් ප්‍රදර්ශනයවීමේ ප්‍රධානම හේතුව බණ්ඩාරගේ ප්‍රචාරක කටයුතුවල ශක්තිය බව ය.
1980 දී සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එරෙහිව ලියැවුණු පෙත්සමට අත්සන් කිරීමේ විපාක වශයෙන් බණ්ඩාරට ගුවන්විදුලිය තහනම් කලාපයක් වූයේ ය. ජීවිතයේ අතිශය පෞද්ගලික වියවුල් නිසාත් මෙබඳු සමාජ දේශපාලන ආන්දෝලන නිසාත් බණ්ඩාර ව්‍යාර්ථ අපේක්ෂණයකින් පසු වූ බවත් පෙනී යයි. ජීවිතය පිළිබඳව කිසියම් ශ්‍රද්ධාවක් තිබිණි නම් එය ද වැනැසී ගියා සේ විය. ඔහු එකල ගතකර ඇත්තේ විප්‍රවාසි ජීවිතයකි.
1990 ජනවාරි මස 3 වැනි දින බණ්ඩාර අපෙන් සදහට ම සමුගත්තේ ය. එය දිවි නසාගත්තා හා සමාන වූ මරණයකි. බණ්ඩාර ලියූ මල්කාන්ති නන්දසිරි ගයන ගීතයක කොටසකින් මේ කෙටි ප්‍රණාම සටහන අවසන් කිරීමට මම අදහස් කරමි.
ඔබේ ම සුරතින් ඔබේ ම ගෙල සිදි
සැඟවී යන්නට සිතනු එපා
මා වෙනුවෙන් ඔබ යළි ඉපදෙනු මැන
මියගිය ඊයේ පසෙක දමා

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.