"මේ සිංහල අපගෙ රටයි.....
අප ඉපදෙන මැරෙන රටයි.....
අප හද පණ ගැහෙන රටයි......
මුළු ලොව මේ රටට යටයි...." යන ගීතය ගායනා කිරීම බරපතළ වැඩ සහිත
දෙවසරක සිර දඬුවමකට යටත් විය හැකි වරදක් විය හැකිය.ජාතිවාදීන් හිරේ දමන පනත ඇනහිටි බව පසුගිය සතියේ ප්‍රධාන පුවත් අතර සිරස්තලයක්
වී තිබිණි. මේ පනත ගැන පසුගිය කාලය පුරාම ශ්‍රී ලාංකීය සමාජය
තුළ ඇතිකර තිබුණේ යම් ආකාරයක උණුසුම් තත්ත්වයකි.
විපක්ෂයේ මන්ත්‍රීවරු සියලු දෙනාත්, සිවිල් සංවිධාන විසි එකකුත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා තිබිණි.
කොහොමත් පසුගිය දවස්වල බොහෝ දෙනෙක් බොහෝ දේ පටලවා ගත් ආකාරය සිහිපත් කරන විට මෙවැනි පැටලිලි සහගත පනත් ඉදිරිපත් කිරීම ගැන එතරම් පුදුම වියයුතු නැත. මේ පනතේ ඉහත කී ආකාරයට දඬුවම් ලබාදීමේදී අනුගමනය කිරීමට නියමිතව ඇත්තේ කවර නිර්ණායකයන් මතද යන්න පැහැදිලි නැත. මේ ප්‍රකාශය බලන්න.
"සාහසික, ලිත හෝ කියෑවීමට අදහස් කරනු ලැබූ වචනයෙන් හෝ සංඥාවලින් හෝ දැකිය හැකි, නිරූපණවලින් හෝ අන්‍ය ආකාරයෙන් ජන කොටස් අතර හෝ වෙනස් පන්තිවල තැනැත්තන් අතර හෝ වෙනස් වාර්ගික, ආගමික කණ්ඩායම් අතර සතුරු බව ඇති කරන හෝ තැත් කරන නැතහොත් ඊට පොළඹවාලන හෝ තැත් කරන යමෙකුට දඬුවම් නියම කිරීම වෙනුවෙන් මෙම පනත් දෙක සංශෝධනය කරනු ලැබේ."
දැන් අප පැහැදිලි කරගත යුත්තේ ලිත හෝ කියෑවීමට අදහස් කරනු ලබන දෙයක සාහසික බව තීරණය කරන්නේ කෙසේද යන්නයි. ඒ අර්ථයෙන් ගත් විට අපට
"මේ සිංහල අපගෙ රටයි.....
අප ඉපදෙන මැරෙන රටයි.....
අප හද පණ ගැහෙන රටයි......
මුළු ලොව මේ රටට යටයි...." යන ගීතය ගායනා කිරීම බරපතළ වැඩ සහිත දෙවසරක සිර දඬුවමකට යටත් විය හැකි වරදක් විය හැකිය.
"වෙනස් ජන කොටස් අතර හෝ වෙනස් වාර්ගික, ආගමික කණ්ඩායම් අතර සතුරු බව ඇති කරන....." යන්න සාපේක්ෂ දෙයකි. ඒ අර්ථයෙන් ගත් විට විවිධ ආගම් අදහන කිසිවෙකුටත් කිසිදු ආගමික උත්සවයක් සංවිධානය කිරීම අපහසු වේ. මන්ද එය වෙනත් ආගමික කණ්ඩායමකගේ සතුරු බව ඇති කිරීම හේතු විය හැකි බැවිණි. පනතේ 'අරමුණ' කවරක් ද යන්න නිශ්චිතවම පැහැදිලි නැතැයි අප කියන්නේ මෙවැනි විහිළු සහගත ප්‍රකාශයන් නිසා ය.
මේ පනත් ගෙන ඒමට එතරම් 'කලබලයක්' තිබුණේ ඇයි දැයි යන්න ද පැහැදිලි නැත. ජාතික, ආගමික සංහිඳියාව දැනටත් මේ රටේ අඩුවක් නොමැතිව ඇති බව පැහැදිලි කර දෙන්නට කිසිවෙකුටත් වැඩමුළු සංවිධානය කළ යුතු නැත. එහෙත් එවැන්නක් නැතැයි සිතාගෙන තකතීරු ව්‍යාපෘති සකස් කරන උදවියගේම මෝඩ සංකල්ප මේ පනතට ද ඉවහල් වී ඇති බව ඒකාන්තයෙන් ම විශ්වාසය. රටේ හතර දිග්භාගයේම ඕනෑම ආගමක, ඕනෑම ජාතියක (පනතේ සඳහන්ව තිබෙන ආකාරයට පංතියක, වර්ගයක) මිනිසුන් මිශ්‍රව ජීවත් වේ. නැවත පදිංචි කරනවා යෑයි කියමින් වනාන්තර හෙළි පෙහෙළි කරමින් නොදන්නා භාෂාවලින් කතා කරන පිරිස් පවා පදිංචි කරවා තිබේ. සංහිඳියාව ගැන තවත් කවර කතා ද?
ඔය කියන ආකාරයට වෛරී ප්‍රකාශන නැවැත්වීමට නම් මේ වන විටත් තිබෙන නීති රීති හොඳින්ම ප්‍රමාණවත් බව විද්වතුන්ගේ මතයයි. ජනවාරියේ පමණක් නොව කිසිදු දිනෙක විවාදයට නොගන්නා සේ මේ පනත ඉරා දැමිය යුතු බව අප කියන්නේ ඒ නිසාය.
දිවයින කතු වැකියෙන්