සතුරකු ගේ මරණය ගැන ආරංචිය වුවද මෙරට සංස්කෘතික ජන විඥානය අනුව කිසිවකුට බොහෝවිට දුකක් මිස සතුටක් ගෙන දෙන්නේ නැත. පොදු මහා සමාජයට සතුටක් ගෙන දුන්නේ නම් ඒ මිලේච්ඡ ෆැසිට්වාදියකු වූ ප්රභාකරන් ගේ මරණය ගැන පමණි. එයද හුදු මිනිසකුගේ මරණය නිසාම උපන්නක් නොව දකුණේ පොදු මහා සමාජය තැති ගත් මරණ බියෙන් නිදහස් වූ ප්‍රීතියයි. ඇතැම් මරණය පිලිබඳ අමුතු සතුටක් හෝ දුකක් ඇති නොවන අවස්ථාද තිබෙයි. අපට මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මරණය අයත් වන්නේ මේ ගොඩටය. උන්වහන්සේගේ අපවත්වීම ජාතියට පිරිමැසිය නොහැකි පාඩුවක් බව NGO නඩයේ කීප දෙනෙකුට හා ඔවුන්ගේ අන්තේවාසිකයින්ට මිස මේ රටේ බහුතරයකට නොදැනේ. (දැන් රාජපක්ෂවරුන්ට හෝ වෙනත් අයට මයික් ඇල්ලුවම කියන කතා උපුටා ඒ අයත් ngo දැයි අහන්න එපා. ගෝනවල සුනිල් ,බැද්දගානේ සංජීව කඩුවෙල වසන්ත ආදීන් මියගිය විටත් කරන්නේ ගුණකථන බව සිහියට ගන්න )
නමුත් සයිබර් අවකාශයේ මෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයේ සැලකිය යුතු බලයක් මේ විතණ්ඩවාදී සංස්කෘතික ඝාතකයින් ගොඩනගාගෙන තිබෙන නිසා සතියක් දෙකක් යනතුරු "වාදීභසිංහ" කේසර සිංහ යන සුරුවම් නම් යොදා කවි ,ගීත , ලිපි ලියා පුවත්පත් පිටු පුරවනු දැකිය හැකිය. මීට පෙර මෙරට යතිවර පරමාදර්ශ කොතෙකුත් හිඳ අපවත් වුවත් මාදුළුවාවේ සෝභිත හිමි ගැන පමණක් මේ පිරිස පොලවේ හැපීගෙන වලිකන්නේ ඇයි.? ඒ උන්වහන්සේ මෙරට බෞද්ධ සංස්කෘතික පුනර්ජීවනයට අනූපම සේවයක් කළනිසා නොව මේ අයගේ දේශපාලන ව්‍යාපෘතියේ තවදුරටත් ඉත්තෙකු ලෙස පාවිච්චි කිරීමට ඇති නොහැකියාව නිසා බව ළාමකයකුට පවා තේරෙන සත්‍යයි.
මෙරට යටත් විජිත සමයේ බෞද්ධ පුනරුදයට විශාල සේවයක් කළ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වාදීභසිංහ වචනයේ සැබෑ උරුමක්කාරයා වුවද මේ විශ්ව සාධාරණවාදී ඊනියා පුරවැසියන්ට සෝභිත හිමි වාදීභසිංහ වන්නේත් මිගෙට්ටුවත්තේ ගුණානන්ද වදීභසිංහ නොවන්නේත් වෙන මොකක්වත් නිසා නොව NGO නඩ සමග අනන්‍යවෙමින් පසුගිය වසර දෙක තුනක සිට රෙජීම් පෙරළීමට දැක්වූ දායකත්වය නිසාය.සෝභිත හිමියන් 80 දශකයේ සිට සිංහල බෞද්ධ ජාතිකවාදය වෙනුවෙන් හඬනැගී හිමිනමකි. මුලින් චින්තන පර්ෂදයේ රැස්වීම් තැබුවේ ද උන්වහන්සේගේ පන්සලේය. එකල චින්තන පර්ෂදයේ සභාපති ධුරය දැරුවේද සෝභිත හිමිය. එකල හෝ මීට වසර දෙක තුනකට ඉහත දී උන්වහන්සේ අපවත් වුයේ නම් මේ NGO අන්තේවාසිකන් අද දක්වන දයාව කරුණාව දැකගන්නට තිබිණි. එසේනම් උන්වහන්සේටත් එල්ල වන්නේ ගංගොඩවිල සෝම හිමියන්ට මෙන් ජාතිවාදී,වර්ගවාදී ලේබලයම වෙයි. මේ NGO විජාතික මනැස් පුතුන් විසින් මෙරට බිද දැමියයුතු බෞද්ධ අධිකාරිවාදයක් ඇතැයි කියා යොදා ගත්තේද සිංහල බෞද්ධ ජාතිකවාදයෙන්ම ජනාදරයට පත් භික්ෂු ප්‍රතිරුපයකි. අවසන සෝභිත හිමියන් සාධාරණ සමාජයක් කියා මේ විතණ්ඩවාදීන් පිරිසක් සමග එකතු වී කළේ එය බිදදැමීම ඔවුන්ට කොන්දේසි විරහිතව සහය වීමයි. අපි සෝභිත හිමියන් යොදා ගන්නේ සිංහලයා පරාජය කිරීමට බව නිර්මාල් රංජිත් මහතා කියා තිබියදී සාධාරණ සමාජය කෙසේවෙතත් මේ කෙළවන්නේ තමන්ද ගොඩනැගීමට හවුල් වූ සිංහල බෞද්ධ ජාතිකත්වය බව උන්වහන්සේට නොතේරෙන්නට හේතුවක් නැත.
මීට විසිතුන් වසකට පෙර දෙමළ කතෝලිකයකු වූ මහාචාර්ය ස්ටැන්ලි තම්බයියා භික්ෂු දේශපාලනයේ ප්රචණ්ඩත්වය කියාපෑමට ඔහු විසින් ලියා පළ කළ ‘බුඩිසම් බිටේ‍්‍රඞ්?’ නම් ග්‍රන්ථයේ පිටකවරයට පවා යොදා ඇත්තේ සෝභිත හිමියන් අතක් උලුක් කරගෙන රෞද්‍ර විලාශයෙන් සිටින චායාරුපයකි. අද මෙන්ම එදාද මේ විශ්වසාධාරණවාදී පඬියන් සිටියේ සිංහල බෞද්ධ ජාතිකත්වය තුළ නොව තම්බයියා පැත්තේය. එදා සෝභිත හිමියන්ගේ මැදිහත්වීම විවේචනය කළ අය දැන්නම් සෝභිත හිමියන්ගේ ඒ හැසිරීම සාධාරණයකරණය කරමින් ඊට සුදුහුණු ගානු පෙනේ. වසර 23 කට පෙර භික්ෂු දේශපාලන ප්‍රචණ්ඩත්වයට නිදර්ශන සැපයු සෝභිත හිමියන් වසර 23 කට පසු මේ අයගේ එකම ගැලවුම්කරුවා වී තිබීම කවර නම් දෛවයේ සරදමක්ද ?

දැන් අපට ඇති ප්රශ්නය මෙයයි. එදා අපි නොතේරෙන වයසේ වුවත් සෝභිත හිමියන් වෙනුවෙන් පා ගමන් යද්දී අද සෝභිත හිමියන්ට වාදීභසිංහයාණෝ, පටිසෝතඝාමී යතිවරයාණෝ. යතිවර පරමාදර්ශය යනාදී සුරුවම් වචන වලින් අමතන අය එදා සිටියේ කොහෙද ? අප සමග පාගමන් යාමට හෝ අද වගේ පොලවේ හැපීගෙන පෙනී සිටීමට සිත් නොදී උන්වහන්සේට බැටදුන්නේ ඇයි? යසනාත් ධමිමික බණ්ඩාර ලියු සටහනක් අරභයා ඔහුගේ මවට දියණියට බිරිදට පවා අමුතිත්ත කුණුහරුපෙන් බනිමින් හදිසියේම පහළවූ උන්වහන්සේට ඇති ආදරය කුමක් අරභයා ද? විකල්ප ගෝත්‍රය එදත් -අදත් මේ පෙන්නුම් කරමින් සිටින්නේ ඔවුන්ගේ සැබෑම තක්කඩි ස්වරුපයයි. අද වීරයන් සේ කුණුහරුප කියමින් සමාජ ජාලා තුල රැල්ලට කමෙන්ට් ගසන බොහෝ ළා බාල පැඟිරන්ට සෝභිත හිමියන්ගේ දේශපාලනය හෝ මේ අතීතය ගැන තේරුමක් නැත. එහෙත් ඔවුන් අද පෙනී සිටින විකල්ප ධාරාව අතීතයේ සෝභිත හිමිගේ ගෞරවය කෙලසමින් පණපිටින්ම මරා දැමුවේ (ඔවුන්ගේම වචනයෙන් කියන්නේ නම් ) බඩුකාරයකු කියමිනි. දැන් හිටි හැටියේම මේ ඝට්ටම්බියන් වැඩිදෙනාට ජාතියේ මුරදෙවියා වී තිබෙන්නේ ඔවුන් බඩුකාරයෙක් ලෙස හණගැසූ පුද්ගලයාම වීම පුදුමය. මේ කතාවේ ඇත්ත නැත්ත දැන්වත් ඔවුන් හෙළිකළ යුත්තේ මේ ප්‍රවෘත්තිය රටට හෙළිදරව් කලේ අප නොව ඔවුන්ම නිසාය. එය ඇත්තක් නම් අපට සාධාරණ සමාජයක් ගේන්නේ එහෙව් අය සමගද ? මෙහි තේරුම මොනතරම් වැරදි තිබුනත් විකල්ප ගෝත්‍රය සමග අනන්‍ය වෙමින් රෙජීමය පෙරළීමට සහය වන්නේ නම් යතිවර පරමාදර්ශයක් වන බවද ?
සෝභිත හිමියන්ට අද රටේ තිබෙන්නේ උන්වහන්සේගේ ඓතිහාසික කාර්යභාර්යට හිමි වූ තැන නොවේ. අකමැත්තෙන් වුවත් පිළිගන්න සිදුවෙන ඇත්ත එයයි. සෝභිත හිමියන්ගේ අන්තිම කැමැත්ත පවා නොසලකා අපවත් වූ දින සිට ආදාහන කටයුතු අවසන් වූ අද දක්වා සිදුවූ සියල්ල රෙජීමය වෙනස් කිරීමට හවුල් වුවාට යහපාලනයේ ආනුභාවයෙන් දේශපාලන අධිකරිත්වයක මැදිහත්වීමෙන් කරන කළගුණ සැලකීම් වෙයි. බොහෝ තැන්වල කහකොඩි පවා දැමුවේ එජාප ප්‍රාදේශීය දේශපාලකයන්ගේ මැදිහත්වීමෙනි. මහානායක හිමියන්ගේ අපවත්වීමටවත් නොඑසවූ කහකොදී ඇතැම් ප්‍රොෆයිල් පින්තුර වල එසවුනේ ද එබදු දේශපාලන අරුතිනි. අවසාන වශයෙන් කීමට ඇත්තේ හදිසියේ බුද්ධාලම්භනයෙන් ඔද වැඩී ශිෂ්ටත්වය කියාදීමට යසනාත් ධමිමික බණ්ඩාර ලුහුබඳින මේ ව්‍යාජ තක්කඩියන් ඥානසාර හිමියන්ට අදත් අමතන්නේ නානසාර බේබදුසාර වැනි නම් වලිනි. මේ මෘග්ධත්වයට සාපේක්ෂව යසනාත් ධම්මික බණ්ඩාරගේ ප්‍රවේශය අහිංසක එකකි. ඥානසාර හිමියන් අරභයා මේ නඩය බුක්ති විදින නිදහස යසනාත්ට නොදිය යුත්තේ අවම ශිෂ්ටත්වයක් වත් ඔවුන්ට තිබේ නම් පමණි. එත් මේ විකල්ප ගෝත්‍රයේ බහුතරයකට එවැන්නක් නැත.
(2015 නොවැම්බර්12 )
-රත්තනදෙණියේ මේධානන්ද හිමි-