උසස් ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවට පොලිස්
ප්‍රහාරවලින් සිසුන්
ඉල්ලීම් කිහිපයක් මුල් කොට ගෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පෙරේදා 29 සවස උද්ඝෝෂණයක යෙදුණු උසස් තාක්ෂණ විශ්වවිද්‍යාලවල සිසුන් විසුරුවා හැරීම සඳහා පොලිසිය සහ කැරැලි මර්දන ඒකකයේ නිලධාරීන් කඳුළු ගෑස්, අධි පීඩක ජල ප්‍රහාර එල්ලකිරීමෙන් නොනැවතී බැටන් පොලු ප්‍රහාර පවා එල්ල කරන ලද්දේ අතිශය අමානුෂික ලෙසය.මෙහිදී පොලිස් නිලධාරින් සිසු සිසුවියන් වෙත පන්නපන්නා පහරදෙනු දක්නට ලැබිණි. ඇතැම් පොලිස් නිලධාරීන් නිරායුධ සිසුවියන්ට පහරදුන්නේ ත්රස්තවාදීන්ට පහරදෙන ආකාරයෙනි. මෙම ගැටුම් අතරතුර ශිෂ්‍යාවන් කිහිප දෙනකුද පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔවුන් අත්අඩංගුවට පත් වන අවස්ථාවේ කාන්තා පොලිස් නිලධාරිනියන් කිසිවකුත් නොවීය.
මෙහිදී සිසුසිසුවියන් හත්දෙනකුද පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කොට ඇත. සිසුන් විසින් පොලිස් නිලධාරීන්ට පහරදීම අනුමත කළ නොහැකි වුවද ඒ තරමට දරුණු ආකාරයෙන් පොලීසිය පහරදෙද්දී තරුණ සිසුන් නිකන් බලන් සිටින්නේ යෑයි සිතීමටද නොහැකිය.
මානව අයිතිවාසිකම් පිළිබඳ දහසකුත් එකත් පොරොන්දු ලබාදෙමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව විශ්වවිද්‍යාල සිසුන් සම්බන්ධයෙන් මෙවැනි දරදඬු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කණගාටුදායකය.
අනෙක් අතට සිසුන්ගේ සාධාරණ ඉල්ලීම් ඉටුකිරීම වගකිවයුතු රජයක යුතුකමකි. මහපොළ වාරිකය රුපියල් 5,000 ක් දක්වා වැඩි කිරීම, ශිෂ්‍ය නිදහස තහවුරු කිරීම, ටොප් අප් උපාධි මුදලට විකිණීම අහෝසි කිරීම, උසස් ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා උපාධි පාඨමාලාවට හිමි උපාධි සමානතාව නැවත බලාත්මක කිරීම සිසුන්ගේ ඉල්ලීම්ය. මේ ඇතැම් ඉල්ලීම් වත්මන් රජයේ මැතිවරණ පොරොන්දුය. දින සියයේ ආණ්ඩුවේ පොරොන්දුද ඒ අතර වේ.
කෙසේ වුවත් ඊයේ (30 දා) මේ අරභයා නිවේදනයක් නිකුත් කරමින් විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරන්නේ පෙරේදා (29 දා) උදේ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ වෘත්තීය සමිති නායකයන් එම ආයතනයේ නිලධාරීන් සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් එතුමා මුණගැසුණු අවස්ථාවේදී එතුමා එම සියලුම ඉල්ලීම ලබාදීමට එකඟවූ බවය.
අපට තවමත් නොවැටහෙන මේ තතු පිළිබඳ යථාර්ථය හෙට අනිද්දා හෙළිදරව් වනු ඇත. ඒ කුමක් වුවත් අප මේ මොහොතේ අපගේ අවධානය යොමු කරන්නේ පොලිසිය විසින් සිදුකරනු ලැබූ තිරස්චීන පහරදීම වෙතය.
පොලිසිය පවසන්නේ සිසුන් පිරිස කලහකාරි ලෙස හැසිරෙමින් රාජකාරියට බාධා කිරීම හේතුවෙන් පොලිසියට අවම බලය යොදා ඔවුන් පාලනය කිරීමට සිදු වු බවය. ඒ කියන්නේ බැරිවෙලාවත් පොලීසිය බලය යෙදෙව්වා නම් සිසුන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත පවා අහිමිවන්නට ඉඩ තිබූ බවය.
සරසවි සිසුන්ගේ විරෝධතාවට එල්ල වූ පොලිස් ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙවැනි නිවේදනයක් පමණක් නිකුත් කිරීම මගින් පමණක් ඔවුන්ට මේ ප්‍රශ්නයෙන් අතපිසදා ගත නොහැක. එක පැත්තකින් ශිෂ්‍ය ව්‍යාපාර වලට ජවිපෙ ඇති දායකත්වය මෙන්ම වත්මන් ආණ්ඩුවට ඔවුන් හට කළ හැකි බලපෑම මත ඒ සඳහා ඔවුන් සක්‍රීයව යමක් කළ යුතුය.
පොලීසිය කටයුතු කළ ආකාරය ගැන රජය මේ වන විට වාර්තාවක් කැඳවා ඇත. වාර්තා කැඳවීම හෝ කොමිසන් සභා පත් කිරීම අප කොතෙකුත් දැක තිබේ. ඒ කිසිවකින් මේවා වැළක්විය නොහැක.
මෙවැනි දේ යළිත් සිදු නොවන්නට නම් රජය වහාම මේ නින්දිත දරුණු ප්‍රහාරයට වගකිවයුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගත යුතුය. ඒ සඳහා එම සිද්ධියට වගකිවයුතු මෙන්ම ඒ සඳහා අණ දුන් ඉහළ සිට පහළට පොලිස් නිලධාරීන්ගේ සේවය වහාම අත්හිටුවා ඒ සම්බන්ධයෙන් ස්වාධීන සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතුය. එවිට හෙට දිනයේවත් පොලිසිය මෙවැනි අමන වැඩ නොකරනු ඇත.
දිවයින කතුවැකියෙනි