ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, October 15, 2015

දයා විමලවීර මතක සමරු...

ඔබ මේ ලිපිය කියවන මොහොතේ දයා විමලවීරයන්ගේ උපන්දිනයක්‌ හෝ එතුමාගේ පියාණන්ගේ ගුණ අනුස්‌මරණ උත්සවයක්‌ හෝ පවත්වන දිනයක්‌ නොවේ. එවැන්නක්‌ නුදුරු සති කිහිපය තුළ එළැඹෙන්නේ ද නැත. කිසියම් කරුණක්‌ සඳහා දයා විමලවීර මැතිතුමා පිළිබඳව දත්තයන් එකතු කිරීමට මට අවශ්‍ය වී ඇත.
බොහෝ විට අපේ සිනමාවේ ජ්‍යෙෂ්ඨයන් පිළිබඳව කරනු ලබන විවිධ අන්දමේ වැඩසටහන් අප දකින අතර ඒවායින් බොහෝමයක්‌ ම හදිසියේ නින්දෙන් නැඟිට කඩිමුඩියේ ඇපෙන් බේරෙන්නට කළාක්‌ මෙන් කර ඇති බව ප්‍රබුද්ධ ප්‍රේක්‍ෂකයාගේ සාධාරණ මතයයි.

ඒ පිළිබඳව මගේ මතය ප්‍රකාශ කිරීම පසෙකලා දශක දෙකක්‌ වැනි කාලයක්‌ තුළ එතුමාගේ සෙවණෙහි හිඳ සිනමා රංගනය අකුරු කළ ශිෂ්‍යයෙක්‌ සේ මගේ අතීත මතකය අවදි කිරීමට මා උත්සාහ දරමි. දයා විමලවීරයන්ගේ පියාණන් වන තංගල්ලේ සිරිසේන විමලවීර පිළිබඳව, ගාමිණී වේරගමගේ "දේශීය සිනමා වංශය" නමැති ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෙසේය.
"සිංහල චිත්‍රපටයක්‌ තනිව අධ්‍යක්‍ෂණය කළ ප්‍රථම සිංහලයා ද ලාංකිකයා ද වේ. එමෙන්ම ඔහු සිංහල චිත්‍රපට නිෂ්පාදනයට එළැඹී ප්‍රථම සිංහල ස්‌වාධීන නිෂ්පාදකයා ද වේ." අපටම අනන්‍ය අපේම සිනමාවක්‌ පිළිබඳව අප උදම් ඇනූ එක්‌තරා සුවිශේෂ යුගයක්‌ අපට විය. අපේ අනන්‍යතාවය රැගත් චිත්‍රපට පමණක්‌ නොව, ඒවායේ නළු නිළියන් ද නිර්මාණකරුවන් ද ලෝක පූජිත වූ අවස්‌ථා ද විය. ඒවා අදටත් නැත්තේ ද නොවේ. නමුත් අපේ කමට වඩා පිටස්‌තරකම ඈඳා ගන්න බලන විට ඒවා ආශ්‍රයෙන් කාසි සෙවීමේ යුගයක්‌ නැත්තේ නොවෙයි. එවැනි මොහොතක සිරිසේන විමලවීරයන් වැනි දේශීය සිනමාව වෙනුවෙන් අන්ත දුක්‌ ගැහැට විඳි එහෙත් කිසිවිටෙක තම ව්‍යායාමය අත් නොහැරී වන්දනීය මිනිසුන් ගැන මෙලෙස සටහන් කිරීමට ලැබීමත් එක්‌තරා අන්දමක භාග්‍යයකි.
ඒ පිළිබඳව මෙහිලා දීර්ඝ සඳහනක්‌ කිරීමට අනවශ්‍ය වන්නේ මගේ ලිපියේ කතා නායකයා, එතුමා නොව, එතුමාගේ පුත්‍රරත්නය වන දයා විමලවීර බැවිනි. නමුත් ගාමිණී වේරගමගේ පොත පරිශීලනය කරන්නෙකුට, ගෞරවනීය ස්‌වාධීන චිත්‍රපට විචාරකයකු වන ජයලාල් විලේගොඩ මැතිතුමාගෙන් පවා, එක්‌ අවස්‌ථාවකදී පැසසුම් ලත් සිරිසේන විමලවීරයන් ගැන බොහෝ දේ, අධ්‍යයනය කළ හැක. නමුත් එවැනි අධ්‍යයනයක්‌, හැදෑරීමක්‌ කිරීමට උනන්දුවක්‌ දක්‌වන, සූදානමක්‌ තිබෙන සැබෑ අවංක තරුණ පිරිස්‌ අප අතර, අද දිනයේදී සුලභ නොවේ. තම පියාගෙන් දැඩි විනය යටතේ සිනමාව අතැඹුලක්‌ සේ හැදෑරූ, දයා විමලවීර ගැටවරයා තුළ කැපවීම, උනන්දුව ශික්‍ෂණය හා සූදානම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් තැන්පත්ව තිබිණි.
දයා විමලවීර කිසියම් විටෙක චිත්‍රපටයක්‌ අධ්‍යක්‍ෂණය කළත් කැමරා කළත්, සංස්‌කරණය වැනි වෙනත් කාර්මික අංශයකට සහභාගි වුණත්, ඒ සියල්ල එකට කළත්, සූදානමකින් තොරව, දර්ශන තලයට පැමිණියේ නැත. සූදානම පිළිබඳව ඔහුට තිබූ සුවිශේෂ හැකියාව සහ ඉව නිසා ඔහුගේ චිත්‍රපටවල නිර්මාණය හා ප්‍රදර්ශනයේ අවදානමක්‌ තිබුණේ නැත. ඉවසීම නමැති කලාකරුවකුට පිහිටිය යුතු (අපට අඩු) උතුම් වූ ගුණාංගය ඔහුගේ ශරීරය පුරා ධාවනය වන රුධිරයට මිශ්‍ර වී ඇතැයි මට සිතේ. ඔහු නළු නිළියන්ට උපදෙස්‌ දෙන්නේ ඒවා ඔවුන්ගේ කනට පමණක්‌ ඇසෙන ප්‍රමාණයට පමණි. රංගන ශිල්පියා හරියාකාරව තේරුම් ගන්නා තෙක්‌, තම වෙහෙස ගැන නොසලකමින්, ඔහුගේ හෝ ඇයගෙන් අවශ්‍ය උපරිම රංගනය ලබා ගැනීමට ඔහු පුදුමාකාර වෙහෙසක්‌ දරයි. ඔහු හෝ ඇය වරද්දන වාරයක්‌ වාරයක්‌ පාසා ඔහුගේ මුහුණේ රැඳෙන්නේ කේන්තියක්‌ හෝ පශ්චාත්තාපයක්‌ නොවේ. ඒ වෙනුවට දෙතොල් නැඟෙන අව්‍යාජ වූ අහිංසක සිනහ රැල්ලකින්, රංගන ශිල්පියාගේ බිය, සැකය, වෙහෙස, කලකිරීම, දුරු කරන ඔහු කෙසේ හෝ යම් ප්‍රබෝධමත් ජීවයක්‌ දී රංගන ශිල්පියාගේ නව ජීවයක්‌ දර්ශනයටත් එමගින් චිත්‍රපටයටත් ලබාදේ. තම පියා, තමා සිනමාව ඉගෙන ගන්නා කාලයේ තමාට දොස්‌ නැඟූ, කෑ ගැසූ අවස්‌ථා එමට වුණත් ඒවායින් ඔහු සැලී නැත. ඊටත් වඩා වැදගත් වන්නේ, එවැනි දේවල් ඔහු තම පරම්පරාවට හෝ තම කාර්යභාරයට එකතු කරගෙන ද නැත.
එබැවින් බොහෝ නළු නිළියන්ට දයා විමලවීර දයාබර විමලවීරයෙක්‌ය. නමුත් කිසිම අවස්‌ථාවක දර්ශන තලයක්‌ තුළ ඔහුගේ අභිමානය සැහැල්ලු වී නැත. මුළු දර්ශන තලයේම අවධානය මෙන්ම, සියලු දෙනාගේම ඉලක්‌කය තමා වෙතට ග්‍රහණය කරගෙන ඇත්තේ බලෙන් නොව වැඩෙන්ය. සුපිරිසිදු වූද, නිර්මල වූද, වැඩෙන්මය. ඕනෑම රංගන ශිල්පියකු හෝ කාර්මික ශිල්පියකු පෙර සූදානමක්‌ නොමැතිව දයා විමලවීරයන්ගේ දර්ශන තලයට නොයයි. ඔහු ඉදිරියේ නිරුත්තර වීමට කිසිවකු කැමැති නැත. එය මහා සෙනඟක්‌ මධ්‍යයේ ඇඳුම් ගැලවී නිරුවත් වූවාටත් වඩා අපහසු තත්ත්වයටත් පත්වෙන බව දන්නා බැවිනි.
රංගන ශිල්පියකු පැමිණ තමාට එදිනට නියමිත දර්ශනය තිර රචනයක්‌ කියවීමට බැරි වූ බවක්‌ හෝ අමතක වූ බවක්‌ එතුමාට කීවා යෑයි අපි සිතමු. එසේත් නැතිනම් කාර්මික ශිල්පියකුට එදිනට අනිවාර්යයෙන් ගෙන ආ යුතු උපකරණයක්‌ හෝ මෙවලමක්‌ හෝ භාණ්‌ඩයක්‌ හෝ අතපසු වුණා යෑයි සිතමු. ඔවුන් පැමිණ දයා අයියේ හෝ දයා මහත්තයා කියා බැරි වූ බව, අමතක වූ බව ප්‍රකාශ කළ විට දයා විමලවීරයන් කෝප වන්නේ නැත. ඔහු ඉතා පහත් ස්‌වරයෙන් අර තැනැත්තාගෙන් විමසන්නේ "ඇත්ත" ද කියායි. නමුත් ඒ වචනය උච්චාරණය කරන විලාශයෙන් ඔහු තුළ ඇති කලකිරීම, අප්‍රසාදය, විශ්වාසය කඩ කිරීම, මුදල් හා කාලය නාස්‌ති වීම සහ වැඩේට කැපවීමක්‌ නැතිවීම නිසා හටගත් පිළිකුල වැනි සියල්ලම හොඳින් එකට මුසුකර අර තැනැත්තාගේ දෙසවනේ තබයි. හැදෙන මිනිසකුට හෝ ගැහැනියකට ඒ ප්‍රතිචාරය හොඳටම ප්‍රමාණවත්ය. එම ප්‍රතිචාරයට මුහුණදීමට බැරිවූ සමහර තැනැත්තන් "මීට වැඩිය හොඳයි දයා සර් පයින් කනට ගැහුවනම්" යෑයි කියූ අවස්‌ථා ද මාගේ මතකයේ ඇත. දයා විමලවීරයන් ගැටවරයකු ලෙස අත්පොත් කියවූ යුගයේ දකුණු ඉන්දියානු චිත්‍රපට ආභාෂය අපේ සිනමාව හරහා දැඩි බලපෑමක්‌ එල්ල කළ යුගයක්‌ විය. පසුකාලීනව ඔහු චිත්‍රපට අධ්‍යක්‍ෂණයේ යෙදෙන අවස්‌ථාවලදී ද, එම චිත්‍රපටවල සම්ප්‍රදායික කතා නායකයා, කතා නායිකාව, දුෂ්ටයා, විකටයා වැනි චරිත තිබුණත් එකී සම්ප්‍රදායික රාමුව බිඳ දමමින්, ඒවාට ගැති නොවී තම ස්‌වතන්ත්‍ර නිර්මාණය පෙන්වූ අවස්‌ථා බහුල විය.
"දෙව්දුව" චිත්‍රපටයේ කතා නායිකාව වූ මාලිනී දරිද්‍රතාවයෙන් පෙළෙන පවුලක යුවතියකි. ඇගේ පියා වූ වින්සන්ට්‌ වාස්‌ රාත්‍රියේ ලන්තෑරුමක්‌ රැගෙන දුම්රිය සේවයට යයි. පියා කෙරෙහි දියණියට ඇත්තේ විශාල වූ භක්‌ත්‍යාදරයකි. හදිසියේම පියා හෘදයාබාධයකින් නැතිවීමෙන් මාලනීලා අසරණ වේ. රාත්‍රියක පියා ගැන සිතමින් සිටිනා මාලිනීට කෝච්චියක "හූ" ශබ්දය ඇසේ. මාලිනීගේ සමීප රූපයකින් කැමරාව කාමරයේ බිත්තිය මුල්ලේ ඇති පියා භාවිත කළ ලන්තෑරුම වෙත ධාවනය වේ. තත්පර 5 ක වැනි කෙටි කාලයක පෙන්වන ලන්තෑරුමේ සමීප රූපය අපේ හදවතේ ශෝකයේ ගිනි දලු මතුරයි. මෙය මාගේ මතකයේ ඇති එක්‌ අවස්‌ථාවක්‌ පමණි.
දශක කිහිපයකට ප්‍රථම අතිශය සාර්ථක වූ "සුජාතා" චිත්‍රපටය නැවත වතාවක්‌ නිපදවීමට බුද්ධි කීර්තිසේනට අවශ්‍ය විය. එහි කතාව මෙන්ම, මනහර වූ ගීත නැවත ප්‍රේක්‍ෂකයා වෙත යොමු කිරීමෙන් උපයාගත හැකි ආර්ථික වාසිය ගැන එතුමා සිතන්නට ඇත. (එහි කිසි වරදක්‌ නැත) ඒ සඳහා ඔහු තෝරාගත් නිර්මාණකරුවා වෙන කිසිවකු නොව දයා විමලවීරයන්ය. දයා විමලවීරයෝ එය එදාටත් අදටත්, හෙටටත් සරිලන පරිදි, රස භංගත්වයක්‌ ඇති නොවන පරිදි, පෙරට වඩා මනරම් වූත් බොහෝ අංශවලින් දියුණු වූත් නව 'සුජාතා' වක්‌ බිහි කළේය. විශේෂයෙන් එහි කතා නායකයා, ස්‌ත්‍රී චපලත්වය ගැන කම්පා වී, සුවිශේෂීs ගායන ශිල්පී මොහිදින් සූරීන්ගේ 'නාරිලතා පුෂ්පේ' ගීතය ගයමින් වැළපෙන්නේය. මෙදා සැරේ ඒ වැළපීම කිරීමට තිබුණේ මටය. නමුත් වර්තමානයට සරිලන පරිදිත්, ගීතයට හානියක්‌ නොවන පරිදිත්, ප්‍රේක්‍ෂක රසය නිඟා නොවන පරිදිත් මෙවර ඒ වැළපීම කරන්නේ කෙසේදැයි මට ඉමහත් ගැටලුවක්‌ විය. නමුත් කාලානුරූපීයව සිතමින් එම වැළපීමට සුදුසු ගැළපීම දයා විමලවීරයන් විසින් නිම කරමින්, ඔහු මා පමණක්‌ නොව චිත්‍රපටය ද ගොඩ දැම්මේය. 'මධු සිහින', 'මිහිදුම් සිහින' වැනි ස්‌වතන්ත්‍ර කතා රැගත් නිර්මාණවලදී තම අධ්‍යක්‍ෂණයට අමතරව කැමරාකරණයෙන් ද ආලෝකකරණයෙන් ද එම චිත්‍රපටයට ලබාදුන්නේ අපූර්වතම ප්‍රේක්‍ෂක ආකර්ෂණයකි. නමුත් හැම අවස්‌ථාවකදීම කතාවටත්, නළු නිළියන්ගේ රංගනයනටත්, ඔහු මූලිකත්වය දී ඇති බව පරිස්‌සමින් මෙම කෘති හදාරන්නෙකුට වැටහෙනු ඇත. චිත්‍රපටයට එකතු කරන විකට රසයෙන් ප්‍රේක්‍ෂකයා කෙරේ චිත්‍රපටය ධාවනය කාලය තුළ කිසිම මොහොතක අලස ගතියක්‌ ඇති නොවීම සිදු විය හැකි මුත්, එම විකට රසය මූලික කතා රසයටත් ප්‍රධාන රංගන භූමිකාවටත් මොනම අයුරකින් හෝ බාධාවක්‌ නොවීමට ඔහු වග බලා ගෙන
ඇත. දර්ශන තලය තුළ ඉතාම සුහද අන්දමින් තම ආධිපත්‍යය වපුරන, මේ අපූර්¨වතම මිනිසා තම නිර්මාණය වෙනුවෙන් කළ යුතු උපරිමය කිරීමට සෑම අවස්‌ථාවකම මුරණ්‌ඩු වන්නේය. ඒ මුරණ්‌ඩුකම සොඳුරු මුරණ්‌ඩුකමකි. එකල අතිශයින්ම කාර්ය බහුල ව සිටි එතුමාගේ සදාකාලික කල්‍යාණ මිත්‍ර විජය කුමාරතුංගයන්ට පවා දයාගේ නිර්මාණ ඉදිරියේ එම මුරණ්‌ඩුකමට යටවීමට සිදුවිය. ඔහු මට අතිශයින්ම වැදගත් වූ, සහෝදරයකුටත් වඩා කිට්‌ටු වූ දයාබර මනුස්‌සයෙකි. නමුත් ඔහුගේ නිර්මාණකරණය ඉදිරියේ මටත් බෙදුවේ විජයට බෙදූ හැන්දෙන් මය. ඔහු එතරම්ම ඔහුගේ නිර්මාණවලට අවංක වී සිටියේය. විජය අන්තිමට රඟපෑවේ ඔහුගේ අධ්‍යක්‍ෂණය යටතේය. ඒ මිය යැමට දින 04 ට නොවැඩි කාලයකදීය. විජයගේ වෙඩි වැදුණ මුහුණ වේශ නිරූපණ ශිල්පීන් වන ඊබට්‌ විඡේසිංහයන් සහ රෝහණ මුදන්නායකයන් ප්‍රකෘති තත්ත්වයට ගැනීමට දැරූ ඉමහත් පරිශ්‍රමය දයා විමලවීරයන් බලා සිටි අන්දම මට අදටත් මතකය. එතුමා අන් අය මෙන් හඬනඟා හැඬුවේ නැත. නමුත් කම්පාවෙන් හැඟුම්බර වූ එවැනි මුහුණක්‌ මා මීට පෙර දැක නැත. ඕනෑම නළුවකුට නිළියකගේ ආකර්ෂණීය කැමරා කෝණ තිබෙන බව ඔබ අසා ඇතැයි මම සිතමි. ඕනෑම කෝණයකින් රූපගත කළත් සන්ධ්‍යා කුමාරි නමැති නිළිය සෑම අතින් ම එක හා සමාන ලෙස පියකරු බව අප ක්‍ෂේත්‍රයේ කැමරාකරුවන් අතර මතයයි. විජයටත් එවැනි ආකර්ෂණීය මුහුණක්‌ තිබුණි.
දයා විමලවීරයන්ගේ චිත්‍රපට කැමරාකරණයේදී වෙනත් කැමරාකරණයකදී දැක නොමැති හැඩයක්‌ බොහෝ නළු නිළියන්ගෙන් කෙනකුට දැකගත හැකිය. ඒ නළු නිළියන්ගේ හැඩය අගේට ගත හැකි වැඩ දන්න කෙනෙක්‌ ලෙස දයා විමලවීරයන් ක්‍ෂේත්‍රය පුරා ප්‍රසිද්ධ බැවිනි. එක දිගටම නොකඩවා චිත්‍රපට 5 ක ඔහුගේ මෙහෙයවීම යටතේ රඟපෑමට වාසනාව ලැබීමට තරම් මා මොනතරම් භාග්‍යවන්ත ද? ග්‍රහයා එතරම්ම බලවත්ව ඇත. නමුත් ඔහුම නිෂ්පාදනය කළ 'සීතල ගිනි කඳු' වල රස්‌නය බැලීමට තරම් මා වාසනාවන්ත නොවූයේ ක්‍ෂේත්‍රය නොගැළපී, ඒ අවස්‌ථාවේ ග්‍රහයා සීමා වූ නිසා යෑයි මා සිතමි. (දයා අයියා මට එයට සමාව දෙනු ඇතැයි මා අදටත් විශ්වාස කරමි) දයා විමලවීරයන් පිළිබඳව ලිවීමට ඇති පෞද්ගලික කරුණු බොහෝය. නමුත් ඒවා මගේ හෝ ඔහුගේ චරිතාපදානයක සඳහන් කරනවා විනා, සිනමාව පිළිබඳ යම් උනන්දුවක්‌ ඇතිව මෙය කියවන කෙනකුට, මෙවැනි ලිපියක එය ඇතුළත් කිරීමෙන් කරන්නේ අසාධාරණයක්‌ යෑයි සිතමි. දයා විමලවීරයන් පිළිබඳව අප තවමත් හරියට කියවා නැත.
ඔහු ආධුනිකයකු ලෙස ක්‍ෂේත්‍රයට පිවිස සිනමාව ජය ගැනීමට කරන ලද අරගලය, ඔහු කැමරාව ඉගෙනගත් කටුක අන්දම, ඔහුගේ කැමරාකරණය, සංස්‌කරණය, තිරපිටපතකට කැමරාකෝණ නිර්මාණය කිරීම, චිත්‍රපටයට උචිත ගීත සහ සංගීත අධ්‍යක්‍ෂණය සමඟ බෙදා හදා ගැනීම, නිර්මාණකරණයේදී නළු නිළි කාර්මික ශිල්පී ලොකු කුඩා සැමටම එක ලෙස සලකමින් ඔවුන් සමඟ කරන වෘත්තීයමය ගනුදෙනුව, යන මේ සියල්ල හරියාකාරව හදාරා, එය ලේඛනගත, කළොත් පිටු 700 - 1000 ක ප්‍රමාණයට ගොනු වෙනු ඇතැයි මම විශ්වාස කරමි. එවැනි අධ්‍යක්‍ෂණයක්‌ කිරීමට උනන්දු තරුණ පරපුරක්‌ අපට සිටිනවාද? ඒ ගැන සිතීමත් එක්‌තරා අන්දමක කාලකණ්‌ණිකමකි. මෑතකදී මා සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ සුවිශේෂී උත්සවයකට සහභාගි වුණෙමි. මේ ලිපිය පළ වුවහොත් මම මෙය ඒ දරුවන් වෙත යවන්නේ එවැනි හැදෑරීමක්‌ කර ඒ හැදෑරීම ලේඛනගත කර දයා විමලවීරගේ දශක 6 ට ආසන්න කාලයක්‌ කළ කී දේ සමාජගත කළොත් ඔවුන්ට මෙන්ම, මුළු මහත් සිනමාවට, මතු පරම්පරාවට එය සුවිශාල සේවයක්‌ වනු ඇත.
අපට ජීවිතයේ පරිපූර්ණ මිනිසුන් හමුවන්නේ ඉතාම මඳ වශයෙනි. පරිපූර්ණ වචනයේ තේරුම නොදත් සමහර බාලයන් ඒවා වැරදි පූසන්ට පාවිච්චි කරනු මා අසා ඇත. සිංහල සිනමා තුළ දැවැන්ත මෙන්ම, පරිපූර්ණ මෙන්ම, ගෞරවනීය මෙන්ම, ශේ්‍රෂ්ඨ චරිත ඇත්තේ අතේ ඇඟිලි 10 ටත් වඩා අඩුවෙනි. දයා විමලවීරයන් එයින් කෙනකු බව මා ඕනෑම අවස්‌ථාවක, ඕනෑම සභාවක නිර්භයට කියා සිටිමි. දයා අයියේ ඔබ අපට කියා දුන් දේට ඔබට පින් සසරේ හැම භවයකම ඔබ අපට හමුවේවා· ඔබට තුණුරුවන් සරණත්, දේව පිහිටෙන් නිදුක්‌ නිරෝගී දීර්ඝායු සුවය!

- සනත් ගුණතිලක 


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.