ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Sira...!!!

Sira...!!!

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 6, 2015

ජිනීවා පෙන්නා රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න යටගහන්න ආණ්ඩුවට බැහැ.....!!!ටිල්වින් සිල්වා

ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නය මතු කරමින් ඒ පිළිබඳව සංවාද පවත්වා මේ මොහොතේ රටේ ජනතාව මුහුණ දෙන දැවෙන ආර්ථික ප්‍රශ්න යට ගැසීමට ආණ්ඩුවට ඉඩ නොදිය යුතු යැයි (04)  ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා  ප්‍රකාශ පැවසීය. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනව පිළිබඳ එම පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කිරීමට මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා ....

''එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ලංකාවට පිළිබඳ යෝජනා සම්මත වීමත් සමඟම ආණ්ඩුව එය විග‍්‍රහ කරනවා තමන් ලැබූ ජයග‍්‍රහණයක් කියලා. එමෙන්ම යෝජනාවලියෙන් රටට හානියක් වුණේ නැහැ කියලා ආණ්ඩුව කියනවා. අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්‍ෂ, විමල් වීරවංශ ඇතුළු පිරිස කියමින් ඉන්නවා තත්වය ඉතා බරපතළයි කියලා. ඒ දෙපාර්ශ්වයම සිදුකරමින් ඉන්නේ මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නය තමන්ගේ දේශපාලන අරමුණ වෙනුවෙන් යොදා ගන්න එකයි. ආණ්ඩුව හෝ දේශපාලන වශයෙන් බංකොළොත්වී සිටින අනෙකුත් පිරිස් මෙම තත්වය රට ගැන හිතලා විග‍්‍රහ කරන්නේ නැහැ.
අපි මේ ප‍්‍රශ්නය පිළිබඳව රටක් විදියට කල්පනා කළොත්, අපේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නයක් වුණු මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නය ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ සමුළුවකදී සාකච්ඡාවට බඳුන් වෙලා පරීක්‍ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීමම අපේ රටට ඇතිවුණු හානියක් කියලයි ජනතා විමුක්ති පෙරමුණ දකින්නේ. අපේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නයක් ජාත්‍යන්තර මට්ටමේ සාකච්ඡාවකට බඳුන්වීම රටටත් ජනතාවටත් මේ රටේ ආණ්ඩු කරපු හානියක්. අපේ රටට මේ හානිය කළේ කව්ද? අපේ රට මේ තරම් බරපතළ තත්වයකට පත්කළේ පහුගිය මහින්ද රාජපක්‍ෂ පාලනයත් ඔහු වටා සිටි අනෙකුත් පිරිසත් විසින්. මහින්ද රාජපක්‍ෂ පාලනය යුද්ධයෙන් පසු බරපතළ විදියට මානව හිමිකම් කැඩුවා. එයින් නතර නොවී ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝණය කළා. එයිනුත් නොනැවතී අපේ රටේ මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නය තමන්ට දේශපාලන වාසි ගන්න පාවිච්චි කළා. මහින්ද රාජපක්‍ෂත් පැවති හැම ඡන්දයකදීම කිව්වේ ජාත්‍යන්තරයට පණිවුඩයක් දෙන්න තමන්ට ඡන්දය දෙන  ලෙසයි. තමන් විදුලි පුටුවෙන් බේරගන්න ඡන්දය දෙන්න කිව්වා. රටේ ජනතාවටත් ජාත්‍යන්තරයටත් බොරු කිව්වා.
පහුගිය ආණ්ඩුව කටුනායකදී හලාවතදී, වැලිවේරියේදී අයිතීන් ඉල්ලලා සටන් කරපු ජනතාවට වෙඩි තියලා ඝාතනය කළා. එවැනි හේතු ජාත්‍යන්තරය විසින් අපේ රටට එරෙහිව චෝදනා එල්ල කිරීමට පාවිච්චි කළා. ඒවගේම මාධ්‍යවේදීන්ට පහර දුන්නා. ඝාතනය කළා. මාධ්‍ය ආයතන ගිණි තැබුවා. එවැනි සිද්ධීන්ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ප‍්‍රයෝජනයට ගත්තා. ඒ වගේම මහින්ද රාජපක්‍ෂ අපේ රටේ අධිකරණයට අත තිබ්බා. අධිකරණය පිළිබඳව විශ්වාසය මුළුමනින්ම බිඳ දැම්මා. එනිසා ජාත්‍යන්තරය විසින් අපේ රටේ සිදුකරන අභ්‍යන්තර පරීක්‍ෂණ පිළිබඳව විශ්වාසය තැබීමට සූදානම් නැති බව කිව්වා. මේ ආකාරයට අපේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට මැදිහත් වීමට අවශ්‍ය දොරටු විවෘත කළේත් තර්ක ගොඩනැගුවේත් දැන් බොරුවට කෑගහන වීරවංශලා ඇතුළු පිරිස් හිටපු මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවමයි.
2009 මැයි 22දා මානව හිමිකම් කොමිසමේ සැසිවාරයක් පැවැත්වුණා. එහිදී ලංකාව වෙනුවෙන් රටවල් 13ක් එකතු වෙලා යෝජනාවක් ඉදිරිපත් කළා. එනිසා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කිරීමට සිටි යෝජනාව වැළකුණා. රටවල් 13 විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුව එවකට ශී‍්‍ර ලංකා ආණ්ඩුව මානව හිමිකම් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම සමඟ සහයෝගයෙන් වැඩ කරන්න පොරොන්දු වුණා. එමෙන්ම 2009 මැයි 23වනදා මෙරටට පැමිණි එවකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කී මූන් සමඟ ඒකාබද්ධ ප‍්‍රකාශයකට මහින්ද රාජපක්‍ෂ විසින් අත්සන් තැබුවා. එම ඒකාබද්ධ ප‍්‍රකාශයට අනුව ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ නිර්දේශ අනුව අපේ රටේ මානව හිමිකම් ආරක්‍ෂා කිරීමටත් ප‍්‍රවර්ධනය කිරීමටත් පොරොන්දු වුණා. ඒ වගේම මානව හිමිකම් ආරක්ෂා කිරීමට වග වෙන බවටත් මහින්ද රාජපක්‍ෂ පොරොන්දු වුණා. ඒ විතරක් නෙවෙයි, 13වන සංශෝධනය අනුව බලය බෙදන්නත් මහින්ද රාජපක්‍ෂ එදා එකඟ වුණා. එසේ තිබියදී එම එකඟතාවයන්ට අනුව මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කටයුතු කළේ නැහැ. තමන්ගේ දේශපාලන බලය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් තමන්ට  ඕන  ඕන විදියට වැඩ කළා. ශී‍්‍ර ලංකා ආණ්ඩුව පොරොන්දු කඩකරන බව පවසමින් බෑන්කී මූන් විසින් 2010 මාර්තු මාසයේදී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව සොයා බැලීමට දරුස්මාන් නමින් විශේෂ කමිටුවක් පත් කළා. එවකට ශී‍්‍ර ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා දරුස්මාන් කමිටුවේ සාමාජිකයින් සමඟ පිට රටවල පාටි දැම්මා. එහෙම කරද්දී සමහරු මෙහෙ මාරාන්තික උපවාස පටන් ගත්තා. දරුස්මාන් කමිටුවට එරෙහිව මහින්ද රාජපක්‍ෂලා 2010 මැයි මාසයේදීම එල්.එල්.ආර්.සී. කොමිසම පත්කළා. ඒ අතරේ 2010 ජූනි මාසයේ ඉන්දියානු සංචාරයකට ගිය මහින්ද රාජපක්‍ෂ මන්මෝහන් සිං සමඟ ඒකාබද්ධ ප‍්‍රකාශයකට අත්සන් කර 13වන සංශෝධනයට අනුව බලය බෙදන්න පොරොන්දු වුණා. එසේ තිබියදී හැම ගිවිසුමක්ම පැත්තකට දාලා මහින්ද රාජපක්‍ෂ තමන්ට  ඕන විදියට වැඩ කළා. ඒ කි‍්‍රයාවලිය නිසා තමයි අද මානව හිමිකම් කොමිසම විසින් ශී‍්‍ර ලංකාවට එරෙහිව තමන්ගේ නිර්දේශ ඉදිරිපත් කරලා තිබෙන්නේ.
එල්.එල්.ආර්.සී. වාර්තාව ඉදිරිපත්වූ පසුව නිමල් සිරිපාලද සිල්වා ප‍්‍රකාශ කර සිටියේ මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා නම් ඒ පිළිබඳව නීත්‍යානුකූලව පරීක්‍ෂණයක් සිදුකරලා වැරදිකරුවන්ට දඬුවම් ලාබදීමට කටයුතු කිරීම රජයේ විශ්වාසයයි කියලා. ඒ ආකාරයෙන් කටයුතු නොකිරීම නිසා තමයි අද ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඇවිත් තිබෙන්නේ. ඒ අතරතුර 2013 වර්ෂයේ නවනීදන් පිල්ලේ ලංකාවට ගෙන්වා ගත්තා. ලංකාවේ සංචාරයෙන් පසුව නවනීදන් පිල්ලේ කියා සිටියේ ශී‍්‍ර ලංකා ආණ්ඩුව මානව හිමිකම් පිළිබඳව පරීක්‍ෂණයක් කරන්නේ නැත්නම් අනිවාර්යයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් එන බවයි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව තමයි ශී‍්‍ර ලංකාවේ ප‍්‍රශ්නය බෙල්ලටම හිර කළේ. රාජපක්‍ෂ මේ ප‍්‍රශ්නය සමඟ සෙල්ලම් කළා. තමන්ගේ බලය වෙනුවෙන් පාවිච්චි කළා. ඒ කි‍්‍රයාවලියේ ප‍්‍රතිඵලය තමයි අද අපිට ලැබිලා තිබෙන්නේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාවල දෙමුහුන් අධිකරණයක් පිළිබඳ අදහසක් තිබුණා. ඒ අතරතුර තමයි ඇමරිකාව විසින් යෝජනාවක් ඉදිරිපත් කළේ. අපි සැලකිය යුතු වන්නේ එම යෝජනා රටට හිතකරද නැද්ද කියලයි. දැන් ආණ්ඩුව කියනවා වෙන්න තිබුණු භයානක දේට වඩා සිදුවුණු දේ හොඳයි කියලා. බැලූ බැල්මට සම්මත වූ යෝජනාවේ සමහර වගන්ති හොඳයි වගේ පේනවා. නමුත් ඇතැම් යෝජනා මගින් ශී‍්‍ර ලංකාවට බලපෑම් කරන්න පුළුවන් ඉඩකඩ විවෘත කරගෙන තිබෙනවා. අනාගතයේදී අපේ රටට හානි ගෙනදිය හැකි වගන්ති එම යෝජනාවල තිබෙනවා. එනිසා එම වාර්තාව සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි වාර්තාවක් කියලයි අපි දකින්නේ. එම යෝජනාවලියේ බරපතළ කරුණු කිහිපයක් තිබෙනවා. ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වගවීම පිළිබඳව ආණ්ඩුවට ජාතික කි‍්‍රයාවලියක් තිබුණේ නැතිබව ඔවුන් පවසනවා. ඒ වගේම ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ විමර්ශන වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කරවීමට ශී‍්‍ර ලංකා ආණ්ඩුව උනන්දු කරවන බවටත් යෝජනාවේ සඳහන්. ඒ වගේම ශී‍්‍ර ලංකාව තුළ විශ්වාසනීය අධිකරණ කි‍්‍රයාවලියක් සිදුවෙන බවට සෑහීමකට පත්විය නොහැකි නම් පොදු රාජ්‍ය මණ්ඩලීය හා අනෙකුත් රටවල්වල විනිසුරුවරුන් සම්බන්ධ කරගත යුතුයි කියලා එම යෝජනාව කියා සිටිනවා. ඒ වගේම 13 වන සංශෝධනය අනුව උතුරේ ප‍්‍රශ්නයට විසඳුම් ලබාදිය යුතු බවත් පවසනවා.
මේ කරුණු අනුව ගත්තාම ජාත්‍යන්තරය අපේ රටට මැදිහත් වීම පිළිබඳ ප‍්‍රශ්නය තවමත් හරියාකාරව විසඳිලා නැහැ. අපි රටක් ලෙස මෙයට මුහුණ දෙන්නේ කොහොමද? බටහිර රටවල්වල ජාත්‍යන්තර මැදිහත්වීම්වල උපායමාර්ගික අරමුණු පිළිබඳව අපි සොයා බැලිය යුතුයි. ඒ වගේම අධිරාජ්‍යවාදීන් විසින් එල්ල කරන බලපෑම්වලට රටක් විදියට මුහුණ දෙන්න උපායමාර්ගික වැඩපිළිවෙලක් අප විසින් සකස්කර ගත යුතුයි. එසේ නොකර මෙම ප‍්‍රශ්නවලින් ගැලවී යන්න කටයුතු කරලා විසඳුම් හොයන්න බැහැ. බරහිර රටවල්වල උපායමාර්ගයට අනුව තමයි ශී‍්‍ර ලංකාව ඔවුන්ට අවනත කර ගන්න හදන්නේ ඒ වෙනුවෙන් ඔවුන් අවස්ථා සොයමින් ඉන්නවා. පහුගිය ආණ්ඩුව මානව හිමිකම් කඩකරලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි කරලා ජාත්‍යන්තරයට අපේ රටට මැදිහත් වෙන්න අවස්ථාව හදලා දුන්නා. එක්සත් ජනපදය අනෙකුත් රටවල්වල ඝාතන සිදුකරන ගමන් අපේ රටේ මානව හිමිකම් කඩවීම් ගැන මැදිහත් වෙනවා. ලංකාවේ ආණ්ඩු කළ යුත්තේ ඔවුන්ට ඇතුළු  වීමට ඇති දොරටු වසා දමන එකයි.
එනිසා අපේ රටේ ආණ්ඩු මානව හිමිකම් ආරක්‍ෂා කළ යුතුයි. ඒ වගේම මානව හිමිකම් කඩවීව නිසා වින්දිතයන් බවට පත්වූවන්ට සාධාරණය ඉටුකළ යුතුයි. රනිල් වික‍්‍රමසිංහ සමඟ හෝ මෛතී‍්‍රපාල සිරිසේන සමඟ ඇමරිකාව යාළුයි කියලා යාළුකම්වලින් මේ ප‍්‍රශ්නය විසඳන්න බැහැ. ආණ්ඩුව කළ යුත්තේ අපේ රටේ ප‍්‍රශ්නයට අපේ විසඳුම් ලබාදෙන එකයි. එවිට ජාත්‍යන්තරයට පාවිච්චි කරන්න ප‍්‍රශ්නයක් නැති වෙනවා. අපේ රටේ කඩවුණු මානව හිමිකම් ගැන පරීක්‍ෂණ පැවැත්වීමට අපේ රටේ ආයතන පද්ධතිය හොඳටම ප‍්‍රමාණවත්. කළ යුත්තේ අධිකරණය ස්වාධීන කරලා දේශීය පරීක්‍ෂණ ශක්තිමත් කිරීමයි. ලංකාව තුළ පිළිගත හැකි පරීක්‍ෂණයක් සිදු නොකිරීම යනු ජාත්‍යන්තරයට අත වැනීමක්. කුමන ආකාරයෙන් හෝ ජාත්‍යන්තර පරීක්‍ෂණයකට ඉඩ ලබා නොදිය යුතුයි. අපේ අටේ ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් තිබෙනවා අපේ රටේ මානව හිමිකම් ආරක්‍ෂා කිරීමට අනෙකුත් රටවල් අපේ රටේ මානව හිමිකම් පිළිබඳව ඇඟිල්ල දික් කරනවා නම් අපි ඒ ගැන ලැජ්ජා විය යුතුයි.
එනිසා ආණ්ඩුව පීඩාවට පත්වූ ජනතාවට යුක්තිය ඉටුකරන්න  ඕනෑ. වැරදිකරුවන්ට නීතිය කි‍්‍රයාත්මක වෙන්න  ඕනෑ. ඒ වගේම මෙම ප‍්‍රශ්නයේ කේන්ද්‍රය බවට පත් වෙලා ඉන්න උතුරේ ජනතාවගේ දැවෙන ප‍්‍රශ්න තවමත් විසඳිලා නැහැ. දින 100 ආණ්ඩුව කාලෙත් එම ප‍්‍රශ්න විසඳන්න තිබුණා. නමුත් මේ ආණ්ඩුවත් තවමත් එම ප‍්‍රශ්න විසඳන්න කටයුතු කරන බවක් පේන්න නැහැ. ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම යෝජනා ඉදිරිපත් කරලා, මෙම ප‍්‍රශ්න පෙන්වලා දී තිබෙනවා. මේ ආණ්ඩුවත් ජනවරමට අනුව වැඩ කරන්නේ නැහැ. පහුගිය කාලයේ අපි ආණ්ඩුවට කඩිනමින් ඉටුකළ යුතු ප‍්‍රතිසංස්කරණ යෝජනා 20ක් ඉදිරිපත් කළා. එම යෝජනාවෙත් තිබෙනවා සත්‍ය විමර්ශන කොමිසමක් පිහිටුවන්න කියලා. නමුත් ආණ්ඩුව ඒ පිළිබඳව අවධානය යොමුකරලා නැහැ. නමුත් එක්සත් ජනපදය කිව්වාම සත්‍ය විමර්ශන කොමිසමක් පිහිටුවන්න  ඕනෑ කියලා ආණ්ඩුව පිළිගන්නවා. අපේ රටේ දේශපාලන පක්‍ෂ ඉදිරිපත් කරන යෝජනා කි‍්‍රයාත්මක නොකර එක්සත් ජනපදයේ යෝජනා කි‍්‍රයාත්මක කරන්න එකඟ වීම පිළිබඳව ආණ්ඩුව ලැජ්ජා විය යුතු නැද්ද?
තවමත් අතුරුදහන් වූවන් පිළිබඳව ප‍්‍රශ්නය විසඳිලා නැහැ. දේශපාලන සිරකරුවන් තවමත් ඉන්නවා. කොටි නායකයෙක් වුණු කේ.පී. නිදහස් කර තිබියදී දෙමළ තරුණ තරුණියන් තවමත් කඳවුරුවල සිරකර තිබෙනවා. මෙවැනි කරුණු පිළිබඳවත් ජාත්‍යන්තරයේ අවධානය යොමුවෙන්න පුළුවන්. ඉදිරියේදීත් මෙවැනි ප‍්‍රශ්න පදනම් කරගනිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව ලංකාවට එරෙහිව විවිධ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. එනිසා ආණ්ඩුව කළ යුත්තේ මෙවැනි ප‍්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදීමයි. ජනතා විමුක්ති පෙරමුණ මේ ප‍්‍රශ්න පිළිබඳව මුල සිටම උපායමාර්ගිකව කල්පනා කරලා කටයුතු කළා. 2009 මැයි 27 මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට යෝජනා 14ක් ඉදිරිපත් කළා. එහිදී උතුරු හා නැගෙනහිර පළාත් යළි ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්‍ෂවල නියෝජිතයින්ගෙන් සමන්විත මණ්ඩලයක් පත්තරන්න යෝජනා කළා. නමුත් මහින්ද රාජපක්‍ෂ ඒ දිහා හැරිලාවත් බැලූවේ නැහැ. පසුගියදා අප විසින් ඉදිරිපත් කළ යෝජනා මාලාවෙත් උතුරු ප‍්‍රදේශ සම්බන්ධයෙන් විශේෂ මැදිහත්වීමක් අවශ්‍ය බව අපි අවධාරණය කර තිබෙනවා. නමුත් ඒ පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක්.
ආණ්ඩුව කියන විදියට අපි ජයග‍්‍රහණයක් ලබලා නැහැ. එම සම්මත වූ යෝජනා පිටුපස රටට අනතුරක් තිබෙනවා. එය අප හඳුනාගත යුතුයි. එම අනතුර හඳුනාගෙන ආණ්ඩුව කටයුතු කළ යුතුයි. මේ ප‍්‍රශ්නය හමුවේ ගේම් ගහන්න බලන්නේ නැතිව ආණ්ඩුව සත්‍යවාදීව කටයුතු කළ යුතුයි. කවුරුත් රවටන්න උත්සාහ නොකළ යුතුයි. සාධාරණ ලෙස නීතිය කි‍්‍රයාත්මක කළ යුතුයි. දැන් ආණ්ඩුව මෙම මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නය සංවාදයට ලක් කරමින් රටේ අනෙකුත් ප‍්‍රශ්න යට ගහන්න උත්සාහ කරමින් ඉන්නවා. මානව හිමිකම් පිළිබඳව විවිධ සංවාද ගොඩනගනවා. මානව හිමිකම් ප‍්‍රශ්නය වගේම තවත් බරපතළ ප‍්‍රශ්න ගණනාවක් මතුවෙලා තිබෙනවා. මේ ආණ්ඩුව පහුගිය කාලයේ සිදුවුණ බරපතළ වංචා-දූෂණ පිළිබඳ පරීක්‍ෂණ පැත්තකට දාලා තිබෙනවා. රටේ නීතිපතිවරයා සල්ලිකාරයන්ගේ පාර්ශ්වයට වැඩ කරමින් සිටිනවාදැයි සැකයක් මතුවෙමින් තිබෙනවා. තව තවත් මේ රටේ අධිකරණ පද්ධතිය පිළිබඳව අවිශ්වාසය ගොඩනගමින් තිබෙනවා. වංචා-දූෂණ ගැන පරීක්‍ෂණයක් සිදු නොකරන මේ ආණ්ඩුව මානව හිමිකම් පිළිබඳව සාධාරණ පරීක්‍ෂණයක් සිදුකරයිද කියලා සැකයක් ගොඩනැගෙනමින් තිබෙනවා.
ඒ අතරේ අපේ රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණදීලා තිබෙනවා. රුපියල කඩා වැටිලා. පහුගිය ආණ්ඩුව විසින් මේ රටේ ආර්ථිකයට සිදුකළ විනාශය නිසා අද තත්වය බරපතළ වෙලා. විදේශ ණය ප‍්‍රමාණය විශාල ලෙස ඉහළ ගිහින්. ණය පොළී වාරිකය වැඩිවෙලා. විදේශ සංචිත අඩුවෙලා. මේ නිසා රුපියල විශාල ලෙස කඩා වැටෙමින් තිබෙනවා. භාණ්ඩ මිල වැඩිවෙමින් තිබෙනවා. මේ අර්බුදය නිසාම මේ ආණ්ඩුවත් පරණ ආණ්ඩුව කරපු විදියටම ජනතාව මත බදුබර පටවමින් ඉන්නවා. ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර ආහාර ද්‍රව්‍යවල බදු වැඩිකරන්න කියලා සෞඛ්‍ය ඇමතිවරයා අපූරු කතා කියමින් ඉන්නවා. එහෙම කියලා සීනි, පිටි, සහ තෙල් වර්ගවල බදු වැඩිකරනවා. මේ යන විදියට ආණඩුවට බදු නොගහ ඉන්න පුළුවන් වෙන්නේ වැටකොළු වලටයි, පතෝලවලටයි විතරයි. අනෙක් හැම දේටම බදු ගහන්න වෙනවා. එනිසා මේ ආණ්ඩුව බලපෑම් කළ යුතුයි, මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නයට විසඳුම් ලබා දෙනවා වගේම රටේ අනෙකුත් දැවෙන ප‍්‍රශ්න සඳහා කඩිනම් විසඳුම් ලබාදිය යුතුයි කිලා.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්...
ජනාධිපතිවරයා සර්වපාක්‍ෂික සමුළුවක් පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබුණා. මීට කලින් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව සමයේදීත් සර්ව පාක්‍ෂික සමුළු පැවැත්වුණා. අපිත් සහභාගී වුණා. යෝජනා ඉදිරිපත් කළා. නමුත් විශාල ලෙස මුදල් නාස්ති කරලා වාර්තා හැදුවා විතරයි. කිසි දෙයක් සිදුවුණේ නැහැ. දැන් ඔය කියන සර්ව පාක්‍ෂික සමුළුවේ දිගක් පළලක් අරමුණක් අපි දන්නේ නැහැ. ඒ පිළිබඳ පුළුල් අවබෝධයක් නැතිව ඉදිරි කි‍්‍රයාමාර්ග ගැන අදහසක් පළකරන්න අපහසුයි. කොහොමත් අපිට තිබෙන අත්දැකීම නම් සර්ව පාක්‍ෂික සමුළු කියන්නේ ආණ්ඩුව තමන්ට තිබෙන වගකීම අනෙකුත් අය මත පැටවීමේ උපක‍්‍රමයක් විදියටයි.
ආණ්ඩවු දැන් කියනවා හයිබි‍්‍රඩ් අධිකරණයක් ගොඩනගන්නේ නැහැ කියලා. නමුත් විදේශ සහාය ලබාගැනීමක් ගැනත් කියවෙනවා. දේශීය පරක්‍ෂණයක් සඳහා අවශ්‍ය නීතී රීති රටේ තිබෙනවා. අඩුපාඩුකම් තිබෙනවා නම් පාර්ලිමේන්තුව මගින් අවශ්‍ය නීති සම්මත කරගන්නත් පුළුවල්. මේ නිසා දේශීය පරීක්‍ෂණයක් සිදුකරන්න හැකියාවක් අපිට තිබෙනවා. ජාත්‍යන්තර මට්ටමින් උපදෙස් ලබා ගන්න ගියාම නොදැනුවත්වම ඔවුන් නීති කටයුතුවලටත් මැදිහත් වෙනවා. එය අපේ රටට අනතුරුදායකයි.'' යැයි පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.