ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, September 19, 2015

මරණය විකුණන මිනී කාක්‌කෝ...

පෝමලින් ගඳ වහනය වන මල්ශාලා අතරත් සුසුම්, කෙඳිරිලි,අදෝනාවලින් යුත් රෝහල් වාට්‌ටු අසලත් මේ කියන 'අතරමැදියන්ගේ' දවසින් වැඩි හරියක්‌ ගෙවන තැන්ය. සුදුපාට ඇඳ ඇතිරිලි මත ගිලන්ව වැතිර සිටින රෝගීන් වෙත මොවුන්ගේ උකුසු ඇස්‌ නිතැතින්ම යොමුවී ඇත. ඒ අතරිනුත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් පිළිබඳ මොවුන් දක්‌වන උනන්දුව වැඩිය.

'මරණය' පමා කළ හැකි දෙයක්‌ වුවද එය වළක්‌වාලිය නොහැකිය. ලොව සුපිරි පහසුකම්වලින් මෙන්ම නම් දැරූ වෛද්‍යවරුන්ගෙන් යුත් ඕනෑම රෝහලක්‌ මෘත ශරීරාගාරයකින් සමන්විතව ඉදිකොට ඇත්තේ කිසිම ජගතෙකුට මරණය මගහැරිය නොහැකි පොදු දහමක්‌ බව තවදුරටක්‌ සනාථ කිරීම පිණිසය.

රෝහලක්‌ තුළ මරණයට පත් අයෙකු ඉන් පිටතට ගෙන අවසන් කටයුතු සිදුකිරීම වන කාර්යය තරමක්‌ සංකීර්ණය. එහි පළමු පියවර වන්නේ මෘත ශරීරය නීත්‍යනුකූලව රෝහලෙන් පිටතට ගැනීමය. ඉන් අනතුරුව මියගිය තැනැත්තාගේ අවසන් කටයුතු ගෞරවනීය අයුරින් සිදුකළ යුතුය. එහි පළමු පියවර වන්නේ මළසිරුර මල් ශාලාවක්‌ වෙත භාරදීමය. එය තම තමන්ගේ වත්පොහොසත්කම් අනුව සිදුකරන කටයුත්තක්‌ය. රටේ ප්‍රධාන රෝහල් ආශ්‍රිතව මෙන්ම ග්‍රාමීය වශයෙන්ද මල්ශාලා දැකගත හැකි අතර ඒවායේ සේවාවන් සපයන්නේ විවිධ මිල ගණන් යටතේය. මෙම හෙළිදරව්ව මල්ශාලා පිළිබඳවත් ඒවායේ වන සේවාවන් පිළිබඳවත් නොව ඒ ආශ්‍රිතව වෙනත් ගනුදෙනුවකට පණ දෙන 'අතරමැදියන්' පිරිසක්‌ පිළිබඳ අනාවරණය පිණිසය.

පෝමලින් ගඳ වහනය වන මල්ශාලා අතරත් සුසුම්, කෙඳිරිලි,අදෝනාවලින් යුත් රෝහල් වාට්‌ටු අසලත් මේ කියන 'අතරමැදියන්ගේ' දවසින් වැඩි හරියක්‌ ගෙවන තැන්ය. සුදුපාට ඇඳ ඇතිරිලි මත ගිලන්ව වැතිර සිටින රෝගීන් වෙත මොවුන්ගේ උකුසු ඇස්‌ නිතැතින්ම යොමුවී ඇත. ඒ අතරිනුත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් පිළිබඳ මොවුන් දක්‌වන උනන්දුව වැඩිය.

ජනවහරේ මේ කියන්නට යන අතරමැදියන් හඳුන්වන තවත් යෙදුමක්‌ වන්නේ 'මිනී කාක්‌කන්' යනුවෙන්ය.

මොවුන්ගේ රාජකාරිය වී ඇත්තේ රෝහල් වාට්‌ටුවක්‌ තුළ මියයන පුද්ගලයකුගේ මෘත ශරීරය ඒ අසල ඇති මල් ශාලාවක්‌ වෙත යොමු කොට 'ගතමනාවක්‌' ලබාගැනීමය. ඒ සඳහා විවිධ උපාය උපක්‍රම භාවිත කරන ඔවුන්ගේ 'වෑයමට' මල් ශාලා හිමිකරුවන් විසින් 'කොමිස්‌' ගෙවන අතර ඒවා මල් ශාලාවෙන්, මල්ශාලාවට විවිධ වටිනාකම්වලින් සමන්විතය. මුදල මත සියල්ල තීරණය වන සමාජයක 'මළ මිනිය' පවා විකුණන එක්‌තරා පිරිසක්‌ වන මේ කියන 'අතරමැදියන්' එදත්, අදත්, හෙටත් රෝහල් ආශ්‍රිතව තම තමන්ගේ ආදායම් කරකර ගැනීම පිණිස වෙන වෙනම තරගයකය.

සෞඛ්‍ය සේවයේ වසර තිහකට ආසන්න කාලයක්‌ අත්දැකීම් ඇති මේ වන විට විශ්‍රාම සුවයෙන් පසුවන රෝහල් උපස්‌ථායෙකුවූ පුද්ගලයකු තමන්ට අසන්නට දකින්නට වූ 'අතරමැදියන්ගේ' කෙරුවාවල් ගැන තොරතුරු හෙළි කරන්නට විය. ජීවත්වීම පිණිස 'මරණය' පවා විකුණාගෙන කන 'මිනී කාක්‌කන්ගේ' කළු පැහැය ඒ කතා බහ තුළින් මනාවට පැහැදිලි විය.

"මම විශ්‍රාම ගිහින් අවුරුදු පහළොවක්‌ විතර වෙනව. දැන් රටේ තියෙන දියුණුවත් එක්‌ක මේ කියන බ්‍රෝකර්ලට වැඩ අඩුවෙලා ඇති. ඒත් ඉස්‌සර එහෙම නොවෙයි. ඒ කාලේ මල්ශාලා තිබුණේ ප්‍රධාන නගර ආශ්‍රිතවනේ. ඊට අමතරව ග්‍රාමීය රෝහල් ආශ්‍රිතවත් මල්ශාලාවක්‌ හෝ දෙකක්‌ තියෙන්න ඇති. අද තත්ත්වය ඊට වෙනස්‌. රටේ හැම තැනකම වගේ මල්ශාලා එකක්‌ හෝ කීපයක්‌ තියෙනව. සන්නිවේදන පහසුකම්, ප්‍රවාහන පහසුකම් ඉහළ මට්‌ටමක තියෙනව. අපි හිතමුකෝ දැනට අවුරුදු දහයකට පහළොවකට ඉස්‌සර කොළඹ මහ රෝහලේ කාගේ හරි මරණයක්‌ සිද්ධ වුණා කියල. අම්පාරෙ උපදින මිනිහෙකුට සමහරවිට මැරෙන්න සිද්ධ වෙන්නෙ කොළඹදී. ඒක තීරණය වෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ රෝගී තත්ත්වය අනුව. මොකද රටේ සෑම රෝහලකම එක වගේ පහසුකම් නෑනේ. හැම පුද්ගලයෙකුම තත්පරයක්‌ හරි වැඩිපුර ජීවත්වෙන්න ආස හින්ද කොළඹ මහ රෝහල තමයි හුඟ දෙනෙකුගේ ජීවිත ගමන නිමාවන අවසාන නැවතුම්පළ වෙන්නෙ.

අපි හිතමුකෝ... කොළඹ මහ රෝහලේ මරණයක්‌ සිද්ධ වුණා කියලා. ඒ මැරෙන්නෙ කොළඹම උපන් අයම නොවෙයිනේ. මැරිච්ච මනුස්‌සය අනුරාධපුරේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රටේ වෙනත් පළාතක අයෙක්‌ වෙන්න පුළුවන්. ඉස්‌සරනම් කොළඹින්ම තමයි ඒ පුද්ගලයගෙ ඉතිරි වැඩ කටයුතු ටික සිද්ධ කරගෙන ගමට ගෙනියන්නෙ. දැන් තත්ත්වය වෙනස්‌. දැන් කරන්නෙ ගමේ තියෙන මල් ශාලාවකින් ගිහින් 'බොඩිය' ගේන එකනෙ. එහෙම ගෙනත් තමයි එම්බාම් කරල පෙටිටියක තියල මිනිය නිවසට ගෙනියන්නෙ.

දැන් තත්ත්වය එදාට වඩා වෙනස්‌ හින්ද ඔය කියන 'අතරමැදි' වැඩ අඩුවෙලා ඇති. හැබැයි නැතුවම නොවෙයි. අදත් මේ ගනුදෙනුව නගර ආශ්‍රිතව සිද්ධ වෙනව. හරි... මම කියන්නම්කො ඒක සිද්ධ වෙන්නෙ කොහොමද කියල. ඒක වෙන්නෙ මෙහෙමයි....

කොටින්ම කියනවනම් ඔය මිනිස්‌සුන්ට කියන්නේ 'මිනී කාක්‌කො' කියල. මිනිහෙක්‌ මැරුනම කාක්‌කො ටික ඇවිත් වහගන්නව. මේ අයගෙ දවසින් වැඩි හරියක්‌ ගෙවෙන්නෙ රෝහල් වාට්‌ටු ආශ්‍රිතව. මුලින්ම මේ අය කරන්නෙ කවුද පණ අදින්නෙ කවුද මැරෙන්න ඔන්න මෙන්න ඉන්නෙ කියල හොයාගන්න එක. රෝගියා කථා බහ කරන තත්ත්වයක ඉන්නවනම් ගම කොහෙද? පවුලෙ ඉන්නෙ කවුද? මොකක්‌ද අමාරුව කියල රෝගියාගෙන්ම දැන ගන්නව. එහෙම නැත්නම් ලෙඩ්ඩු බලන්න වාට්‌ටුවට එන ලෙඩාගෙ ඥාතීන්ට ළංවෙලා විස්‌තර අහල දැනගන්නව. ගේ තියෙන්නෙ අහවල් තැන නේද? අහවලා මගේ හිතවතා. මම ඒ ගෙදර නතරවෙලත් ඉඳල තියෙනව. ඊයෙ හවසත් මම ඇවිත් මේ ලෙඩාව බලල ළඟට වෙලා ඉඳලයි ගියේ.... ඔය වගේ නොයෙක්‌ කථා කියල ලෙඩාගෙ ඥතීන්ගේ හිත ගන්න මේ මිනිස්‌සු උපන් හපන්නු. මේ වැඩේට කපටි කමයි මුඛරි කමයි දෙකම තියෙන්න ඕනෙ. මේ අය ගාව ඒක ඕනවටත් වඩා තියෙනව. මොකද? කාලයක්‌ තිස්‌සෙම කරන්නෙ ඕකනෙ. රෝහල් කාර්ය මණ්‌ඩලවල වැඩකරන අයත් මේ අය ගැන දන්නව. ඒත් කරන්න දෙයක්‌ නෑ.

කෙනෙක්‌ බරපතළ අසනීපයකට ලක්‌වුණාම එහෙම නැත්නම් රෝහලකට ඇතුළු කළාට පස්‌සෙ මිය ගියහම ඒ අයගේ පවුල්වල උදවිය පත්වෙන අසරණභාවය පිළිබඳ අලුතින් කියන්න දෙයක්‌ නෑනෙ. ඊට පස්‌සෙ ඒ මිනිස්‌සු බලාපොරොත්තුවන්නේ කාගෙ හරි පිහිටවීමක්‌ සරණක්‌නෙ. මේ අය එහෙම කෙනකුට පිහිටවෙන මුවාවෙන් වැඩේට බහින්නෙ අන්න එතනදී.

මැරුණ පුද්ගලයගෙ ඥතීන් රෝහලට එන්නත් ඉස්‌සර මේ කියන 'අතරමැදියෝ' එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ වැඩේට බහිනව. ඔය වෙද්දි මියගිය කෙනාගේ ඥතියා කවුද මිත්‍රයා කවුද ඒ අයගේ සමාජ තත්ත්වය මොකක්‌ද කියල මේ අය දැනගෙන ඉවරයි. මිනිය ගෙනියන්න ආව අයට කිට්‌ටුවෙන මේ මිනිස්‌සු මුලින්ම ඒ අයත් සමඟ කතාවට වැටෙනව. බලන්න... හරිම අපරාදෙ වුණේ. මම ඊයෙ හවසත් ඇවිත් බලල ගියෙ. අහවලාගෙන් තමයි දැනගත්තේ ලෙඩා රෝහලේ ඉන්න විත්තිය. කෝ අද අයිය ආවෙ නැද්ද? මල්ලි ගෙදරද? ගේ තියෙන්නෙ අහවල් තැන නේද? වගේ දන්න හඳුනන විදියට කතා කරලා කාටවත් සැක හිතෙන්නෙ නැති විදියට මියගිය පුද්ගලයාගෙ ඥතීන්ට ළංවෙනව.

ඊට පස්‌සෙ තමයි ඒ අයගේ භූමිකාවට පණ දෙන්නෙ. දැන් ඉතිරි වැඩ ටික සිද්ධ වෙන්නෙ කොහොමද? මොනවද මගෙන් කෙරෙන්න ඕනෙ. වගේ දේවල් අහල පවුලෙ කෙනෙක්‌ වගේ සමීප වෙනව. ඉතින් ඔය වෙලාවට කවුරු හරි පිහිටට එනවනම් ඒක ලොකු දෙයක්‌නෙ. මේ ගැටවලට හැමෝම අහුවෙන්නෙ නෑ. දුප්පත් අහිංසක මිනිස්‌සු තමයි මේ අයගෙ 'ගොදුරු' බවට පත්වෙන්නෙ.

ඊට පස්‌සෙ ඔය කියන 'අතරමැදිය' කියනව, යමු,. මම දන්න මල් ශාලාවක්‌ තියෙනව. අපි එතනට ගිහින් කතා කරල බලමු. වැඩ ටික ලස්‌සනට කරගන්න පුළුවන්. මම ගණන් කතා කරල දෙන්නම්. මේ වෙලාවට නැති හිතවත්කම් ගමේකම් මොකටද? කියල අහල තමයි වැඩේට බහින්නෙ.

හැමෝම කැමතියිනෙ වැඩක්‌ අඩුවට හොඳට කරගන්න. අනික ඔය වෙද්දි 'අතරමැදිය' පවුලේ හිතවතෙක්‌ වෙලත් ඉවරයිනෙ. ඊට පස්‌සෙ දොගොල්ලොම යන්නෙ මල්ශාලාවට. ඒ ගිහිල්ලත් අතරමැදිය තමයි වැඩේට මුල පුරන්නෙ. මේක... මගේ වැඩක්‌. පුළුවන් තරම් හොඳට අඩුවට මේ වැඩේ කෙරෙන්න ඕනෙ. බොස්‌ට කියන්න දෙයක්‌ නෑනෙ. වැඩේ හරියට කෙරෙන්න ඕනේ. එච්චරයි. ඔයවගේ දේවල් කියල අර මිනිස්‌සුන්ගේ දුක බෙදාගන්නව.

මේක ඇත්තටම උදවුවීමක්‌ නොවෙයි. ඒ මිනිහට තියන්නෙ වෙන අරමුණක්‌. මොකද අහල පහල තියෙන මල්ශාලාවට ඒ අය හරහා වැඩක්‌ අරන් ගියොත් තමයි ඒ මනුස්‌සයට ගාණක්‌ කැපෙන්නෙ. වැඩේ කරන්න යන ගාන අනුව කොමිස්‌ එක ලැබෙනව. ඔය අතරේ මිනිය ගෙනියන්න පිට පළාත්වල ඉඳල එන අයගෙන් අහනව "දැන්,.. මහන්සිත් ඇතිනෙ. යමු තේ එකක්‌ බොන්න. බත් ටිකක්‌ කන්න..." කියලත්, එහෙම කරල තේ ටික බත් එක සපයගන්නෙත් අර එන අයගෙන්. මේ අයට අනිත් මිනිස්‌සු ගැන තියෙන්නෙ පුදුම 'ඉවක්‌'. අපි හිතමු ඔය එන මනුස්‌සයො අතරේ 'බොන මූණක්‌' තියෙන කෙනෙක්‌ ඉන්නව කියල. එයාට ළංවෙලා හෙමින් අහනව 'මොනවහරි කරනවද?' කියලා. අපි හිතමු ඒ මනුස්‌සය යෝජනාවට කැමැති වුණා කියල. දවසෙ අරක්‌කු වියදමත් ඒ හරහා හොයාගන්නව. ඔයවගේ උප්පරවැට්‌ටි දාලා කොහොම හරි තමන්ගෙ දවසෙ වියදම හොයාගන්න එක තමයි මේ කට්‌ටියගේ රස්‌සාව. සමහර "අතරමැදියෝ" ඉන්නව එතනින් නතර වෙන්නෙ නෑ. මළ මිනියත් අරන් ඥතීන් එක්‌ක ඒ අයගෙ ගෙවල්වලටත් යනව. දවසක්‌ දෙකක්‌ ඒ පළාතෙ ගත කරල තව තව සම්බන්ධකම් හදාගෙන ආපහු එන අයත් ඉන්නව.

එහෙම කරන්නෙ 'බිස්‌නස්‌' එක ඉදිරියට ගෙනියන්න ඕන හින්ද. මොකද ඒ අයගෙ මරණයක්‌ වුණත් ඊට පස්‌සෙ මේ අයව හොයාගෙන එනවනේ".

ඔන්න ඔය විදියට තමයි එදත් අදත් රෝහල් ආශ්‍රිතව මේ ගනුදෙනුව සිද්ධ වෙන්නෙ. මිනිස්‌සු ජීවත්වෙන්න මොනව හරි කරන්න ඕන හින්ද මේව වැරදි විදියට දකින එකත් වරදක්‌. ඔය මිනිස්‌සු වැඩක්‌ පලක්‌ කරල කීයක්‌ හරි හොයාගන්නව වෙනුවට තමයි ඔය 'බ්‍රෝකර්' වැඩ කරල කාගෙන් හරි ගාණක්‌ කපා ගන්නේ. සමහරු ඉන්නව දවසට හාරපන්දහස හොයන අය. අද කීයක්‌ හෙව්වත් හෙට සතයක්‌වත් අතේ නෑ. කාල බීල ඉවරකරල දානව. අයෙත් හෙට පුරුදු රස්‌සාවට බහිනව. දැන් ඔය තත්ත්වය තරමක්‌ දුරට අඩුවෙලයි තියෙන්නෙ. ඒකට හේතුව වෙන්න ඇත්තෙ රටේ තියෙන දියුණුව වෙන්න ඇති. කොහොම වුණත් ඔයවගේ දේවල් නතර කරන්න බෑ. එදත් අදත් හෙටත් ඒ දේවල් කාලයට ඔබින ආකාරයට වෙනස්‌වී පවතිනව".

දිගු හෙළිදරව්වකින් අනතුරුව විශ්‍රාමික සෞඛ්‍ය සේවකයා නිහඬවූයේ තවත් දැන ගන්නට යමක්‌ ඇත්දැයි නැවත වතාවක්‌ විමසමින්ය. ඒ වන විටත් ඔහු විසින් කර තිබූ හෙළිදරව්ව හොඳටෝම ප්‍රමාණවත් බැවින් තවදුරටත් ඔහු වෙහෙසවීම පල රහිතය.

මිනිස්‌ සමාජය වනාන්තරයක්‌ බඳුය. විවිධ මිනිසුන්ගෙන් යුක්‌තය. උඩු වියන විසින් වනයේ අඳුරු පදනම වසාගෙන ඇති අයුරින් මිනිස්‌ සමාජයේද නොපෙනෙන අඳුරු පැතිකඩවල් බොහොමයකින් යුක්‌තය. මිනිසුන් ජීවත්වීම පිණිස නිරන්තර අරගලයකය. එහිදී මානව දයාව ආදී ගුණාංග පවා උඩු සුළඟට හසුවෙමින්ය. මළ කඳ පවා විකුණාගෙන කන සමාජයක්‌ නිර්මාණය වී ඇත්තේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසින් විය යුතුය. ඕනෑම කෙනෙක්‌ මැරෙන තුරු ජීවත් විය යුතු බැවින් මේ කියන මිනිසුන් ජීවත්වීම පිණිස 'මරණය' විකුණන පිරිසක්‌ බවට පත්ව ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.