එය සංචාරක කර්මාන්තයට පමණක් නොව රටටත් හොඳය. ඊළඟට වැදගත්ම දේ
පසුගියදා එවැනිම සිදුවීමක් දකුණේ වැලිගම මිරිස්ස මුහුදු වෙරළ තීරයේ වාර්තා වී තිබිණි. ඒ අනුව පුද්ගලයකු බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට පිහියෙන් ඇන ඔහුගේ 21 හැවිරිදි පෙම්වතිය පැහැරගෙන යැමට උත්සාහ දරා තිබේ. කෙසේ හෝ මේ අමනයා ඉතා ඉක්මනින්ම අත්අඩංගුවට ගෙන තිබේ. වාසනාවකට මෙන් බ්‍රිතාන්‍ය ජාතිකයා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී තිබේ. (අප සිතන්නේ එය රටේ ද වාසනාවක් බවය.) බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතියද අතුරු අන්තරාවක් නොවී බේරා ගැනීමට හැකිවූ බව ද වාර්තා වේ. රටේ සිද්ධ වෙන දේ ගැන සිතන විට බොහෝ දෙනකු ඒ ගැන ද සැනසුම් සුසුම් හෙළන බව නිසැකය.
බ්‍රිතාන්‍ය ජාතිකයා අනූනවයෙන් බේරීම රටේ වාසනාවක් බව අප කියන්නේ ඇයි? කාගේ වුණත් ජීවිතයක් අමන පාපතරයෙක් බිල්ලට ගැනීම ශිෂ්ට සම්පන්න සමාජය කිසි විටෙකත් අනුමත නොකරන බැවිනි. දෙවැනුව එවැන්නක් සිදුවී නම් රටක් වශයෙන් අප මුහුණ දෙන තත්ත්වය ඉතාම නරක එකක් වන බැවිනි. කොහොමත් දැන් තත්ත්වය හොඳ නැත. ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණි මේ යුවළ රටේ ජීවත් වන මිනිසුන් ගැන ඉහළ තක්සේරුවකින් තමන්ගේ මව් රටේදී කතා කරාවි යෑයි කිසිවිටෙකත් සිතිය නොහැක. රටේ මිනිසුන් විදේශිකයන් දුටුවිට දක්වන ළෙන්ගතු බව, සිනහව ව්‍යාජ එකක් බවත්, ඔවුන් ආගන්තුක සත්කාරයෙහි ලැදි පිරිසක් නොව අතිශය අමානුෂික ගති පැවතුම්වලින් හෙබි පිරිසක් බව මේ විදේශික යුවළ නොකියන්නේ යෑයි කියන්නට තිබෙන සහතිකය කුමක්ද?
මේ අශීලාචාර ගති පැවතුම්වලින් යුත් අමනයා සංචාරක මඟ පෙන්වන්නෙක් බව පැවසේ. බොහෝ දෙනෙක් දන්නා පරිදි "ගයිඩ්" කෙනෙකි. මේ සිදුවීමේදී "ගයිඩ්" කෙනකුගේ විනය පිළිබඳව ද ප්‍රශ්නයක් පැන නැඟේ. මේ කියන අශිෂ්ටයා එම විදේශීය යුවළට මඟපෙන් වූ එකෙකු නොවේ. විදේශීය යුවළ රාත්‍රී සාදයකින් පසුව හිමිදිරියේ නවාතැන කරා පා ගමනින් එන අතරවාරයේ මේ "හඩු ගයිඩා" මේ නින්දිත ක්‍රියාව සිදු කර තිබේ.
නොදන්නා 'ටුවරිස්ට්ලාට' පිහියෙන් අනින, දූෂණය කිරීම පිණිස පැහැරගෙන යන මෙවැනි "ගයිඩ්" ලාගේ සහාය පතන සියලුම සංචාරකයන්ට දෙවියන්ගේම පිහිටය. අප දන්නා පරිදි ශිෂ්ට සම්පන්න, විනය ගරුක සංචාරක මඟපෙන්වන්නෙකු යනු සංචාරකයකුගේa හොඳම මිත්‍රයාය. ආරක්ෂකයාය. සංචාරකයකු රටට ගොඩ බසින මොහොතේ සිට ඔහු රටෙන් සමුගන්නා තෙක් ඔහුගේ සමීපතයා වන්නේ ඔහුය. රටේ කීර්තිනාමය ආරක්ෂා කර දෙන්නේ එවැනි සංචාරක මඟපෙන්වන්නෙකුය. දැන් මේ රටේ සංචාරකයන් ගැන සොයා බලන වගකිවයුත්තන්ට හිතන්නට යමක් තිබේ. වැල්ලේ ඇවිද භාෂා කිහිපයක වචන ටිකක් කට පාඩම් කරගත් රැවුල, කොණ්ඩය වවාගෙන කුමන හෝ මත්ද්‍රව්‍යයක් භාවිත කර සංචාරකයන් පසුපස යන ගයිඩන්ගෙන් "සැබෑ සංචාරක මඟපෙන්වන්නා" වහා වෙන්කර ගත යුතුය.
එය සංචාරක කර්මාන්තයට පමණක් නොව රටටත් හොඳය. ඊළඟට වැදගත්ම දේ සංචාරකයන්ගේ ආරක්ෂාවය. මේ බ්‍රිතාන්‍ය ජාතික යුවළ මහ පාන්දර පයින්ම නවාතැන කරා ඇවිද යන්නේ රටේ ආරක්ෂාව ගැන හොඳ විශ්වාසයකින් බව කිව යුතු නැත. පරණ තංගල්ලේ සිද්ධියේදී, ඊට සහභාගි වූ පුද්ගලයන්ට නොව එවකට ආණ්ඩුවට ලවක් දෙවක් නැතුව බැණ වැදුනේ එවකට සිටි විපක්ෂයයි. දැන් ආණ්ඩුව කරන පක්ෂය කුමක්ද විපක්ෂය කුමක්දැයි තෝරා ගැනීමට නොහැකි වුවත් සංචාරකයන්ගේ ආරක්ෂාව ගැන තව ටිකක් වැඩිපුර හිතන්නට වන බව සිහිපත් කරමු.
අපට කියන්නට තිබෙන බොහෝ දේ මේ ගැන හිතන්නට ක්‍රියාත්මක කරන්නට බැඳී සිටින ආයතනවලට, පාර්ශ්වයන්ට කල්පනා නොවන්නේ ඇයි දැයි යන්න ප්රශ්නයකි. රටේ සිදුවන කාමඅපරාධ, ඝාතන අතර මේ සිදුවීම ද එක් හුදකලා සිදුවීමක් නොවේ. අපි ආණ්ඩුවට දොස් කියන්නට ඉක්මන් නොවෙමු. එහෙත් මේවා ඉක්මනින් නවතා දැමීමට ක්‍රියා කළ යුතු බව පමණක් සිහිපත් කරමු. ඒ එයද යහපාලන විෂයය පථයට ම අයත් නිසාය.
දිවයින කතුවැකියෙනී