ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 10, 2015

රාජ රත්නාකරය

ඓතිහාසික තොරතුරුවලින් සමන්විත වන බැවින් ඉතිහාස පොත් ගණයෙහි ද සැලකිය හැකි ථූප වංශය, බෝධි වංශය, දළදා සිරිත, එළු අත්තනගලු වංශය, නිකාය සංග්‍රහය, ධාතු වංශය වැනි පොත් ඒ ඒ විෂයයන්ට අදාළ ව ලියැවී තිබිය දී සිංහල රාජවංශය පිළිබඳ තොරතුරු රැගත් කෘතියක් ලෙස රාජ රත්නාකරය ලියැවී තිබේ. සද්ධර්ම රත්නාකරය, යෝග රත්නාකරය වැනි ග්‍රන්ථ නාමවලට අනුගත ව, රජවරු නමැති මැණික් සමූහය යන අර්ථයෙන් මේ කෘතිය මෙසේ නම් වී තිබේ.
මෙය කෝට්ටේ සහ සීතාවක රාජධානි පවතිද්දී සහ මහනුවර රාජධානිය ගොඩනැඟෙමින් පවතිද්දී රචනා වූවකැයි අනුමාන කළ හැකි ය. මෙහි අග භාගයෙහි දැක්වෙන ‘එකලට අප බුදුන් පිරිනිවී දෙදහස් පසානු වන්නෙහි මහ බෝ වඩා ආ සිරිසඟබෝ වංශයෙන් රජෙක් රජ විය.’ නම් වැකිය මේ කාල නිර්ණයට හේතු සාධක වේ. මේ රචනයෙහි මුඛ්‍ය පරමාර්ථය එකී රජුගේ ගුණ වර්ණනා කිරීම බව පැහැදිලි ව පෙනේ.
එබැවින් ඒ රජුගේ කාලයට සමීප කෙරුණු නිර්මාණයක් සේ විශ්වාස කළ හැක්කේ කෘතිය අවසන් වන්නේ ද ඒ රජුගේ ගුණ වර්ණයෙන් ම වන නිසා ය. මෙහි කියැවෙන වර්ෂය ක්‍රිස්තු වර්ෂයෙන් 1541 ක් වැන්න යි. එය කෝට්ටේ සත් වැනි බුවනෙකබාහු රජුගේ සහ සීතාවක මායාදුන්නේ රජුගේ රාජ්‍ය කාලය යි.
මෙහි වර්ණනා වන මහනුවර රජුගේ නම කුමක් දැයි සඳහන් වන්නේ නැත. එහෙත් මෙහි එකී රජු ගැන සඳහන් වන ‘තමන්ගේ වීර වික්‍රමයට සුදුසු බාහු වික්‍රමයෙන් ජය ගෙන...’ සහ ‘මේ රජ තමාගේ වීර වික්‍රමයට සුදුසු වූ කාය වික්‍රමයෙන්...’ යන පාඨ අනුසාරයෙන් රජුගේ නම “වීර වික්‍රම” වී යැයි විශ්වාස කෙරේ.
මේ වග තව දුරටත් තහවුරු වන්නේ මහා වංශයේ සඳහන් වන “ශ්‍රී සංඝබෝධි මහරජාණන්ගේ ගෝත්‍රයෙහි උපන්නා වූ වීර වික්‍රම නම් කුමාරයෙක් තෙම සර්වඥයන් වහන්සේගේ පිරිනිවීමෙන් දෙදහස් අසූපහක් ගෙවුණ කල්හි මහබලැතියේ මහවැලි ගඟ නමැති අගලින් අලංකෘත වූ සෙංකඩගල සිරි වඩන නම් පුරයෙහි රජ විය’ යන පාඨයෙනි.
මහා වංශයේ පශ්චාද් භාගය (චූලවංශය) ලියද්දී මේ තොරතුර සපයා ගන්නට ඇත්තේ රාජ රත්නාකරයෙන් ම විය හැකි ය. මෙකී වකවානුවේ මහනුවර රාජධානියේ ඓතිහාසික තොරතුරු පිළිබඳ සලකා බලද්දී මේ කියැවෙන රජු ‘කරලියැද්දේ බණ්ඩාර රජු’ යැයි ද අනුමාන කෙරේ.
රාජ රත්නාකරය කතුවරයාණන් ගැන ඇතැම් පුස්කොළ පිටපත්වල ග්‍රන්ථාවසානයෙහි සඳහන් ව ඇත. ඒ, ‘වල්ගම්පාය අභයරාජ පිරිවෙන් තෙර සාමින් විසින් ලෝවැඩ සසුන් වැඩ පිණිස කරන ලද රාජ රත්නාකරය’ යනුවෙනි. මෙහි පැවසෙන මේ පිරිවෙන් විහාරය දඹදෙණි සමයේ පටන් පැවති වග මහා වංශයේ දෙවැනි පරාක්‍රමබාහු රජු හා එරජ පුත් සිව්වැනි විජයබා රජු ගැන කියැවෙන ‘... ඒ රජ තෙමේ එහි වල්ගම්පාය විහාරය කරවා පසු ව එහි පිය රජහු නමින් අභයරාජ නම් පිරිවෙන ද කරවා...’ යන්නෙන් සනාථ වේ. ඒ හැර මේ කතු හිමියන් ගැන උන්වහන්සේගේ නම හෝ වෙනත් කිසිදු තොරතුරක් හෝ මෙහි වත් වෙනත් මූලාශ්‍රයයක වත් සොයා ගත නො හේ.
මේ පොත පරිච්ඡේද වශයෙන් කොටස් වෙන් කොට ප්‍රබන්ධ වූවක් නො ව එක දිගට ගලා යන රචනාවක් පරිද්දෙන් ලියැවී තිබෙන්නකි. කතුවරයා සිය අභිප්‍රායය ගැන සඳහන් කරනුයේ ‘මේ ලක්දිවට රජ පැමිණි බොහෝ රාජ නන්දයන් විසින්... අප විසින් ශාසනෝපකාරී වුව මැනවැයි සිතා තම තමන්ගේ කාලයෙහි පැමිණි ශාසනෝපදාව කරුණා පුරස්පර ව බලා බලය පැවැත්වූ නියාව සංක්ෂේපයෙන් දක්වම්හ’ යනුවෙනි. මේ පොත කිසිවෙකුගේ ආරාධනයකින් නො ව ස්වයං මනාපයෙන් ම කළ බැව් පෙනේ.
රාජ රත්නාකරය රචනා කිරීම උදෙසා දීපවංශය, මහා වංශය, රසවාහිනි ආදි වූ පාලි කෘතීන් ද පූජාවලිය, නිකාය සංග්‍රහය, බෝධි වංශය, ථූප වංශය, දළදා සිරිත, සද්ධර්මරත්නාකරය ආදි වූ සිංහල කෘතීන් ද ආශ්‍රය කොට ගෙන තිබේ. පූජාවලිය, නිකාය සංග්‍රහය වැනි කෘතිවල කොටස් ඒ අයුරින් ම වාගේ උපුටා ගෙන තිබෙන තැන් ද දැකිය හැකි ය. ඒ හැරුණු විට ඉහත දැක්වෙන කෘතිවලින් ගත් පාලි ගාථා මේ පොත පුරා සුලභ ව දකින්නට පිළිවන. ආශි‍්‍රත කෘතිවලින් කරුණු ලබා ගැනීමේ දී ඇතැම් දෑ ලුහුඬින් දැක්වීම, තවත් දෑ සවිස්තර කොට දැක්වීම වැනි ක්‍රියා මාර්ග ද අනුගමනය කොට තිබේ.
බුදු රදුන්ගේ ලංකාගමනය, විජයාවතරණය, ධර්ම සංගායනා, මහින්දාගමනය වැනි කරුණු මේ කෘතියෙහි මුල් කොටස වශයෙන් සැකෙවින් දැක්වෙනුයේ කෘතියට ප්‍රාරම්භයක් සපයන ලෙසිනි. අනතුරු ව විජය රජුගේ පටන් වූ ශ්‍රී ලංකාවේ සිහසුන හෙබැවූ සියලු රජවරුන් පිළිබඳ ක්‍රමික ව සඳහන් වේ. එහි දී ඇතැම් රජ කෙනෙකුන් ගැන නාමමාත්‍ර පමණකින් ද ඇතමෙකු ගැන කෙටියෙන් ද ඇතමකු ගැන දීර්ඝ වශයෙන් ද යන ක්‍රම ක්‍රමයෙන් ම කරුණු ඉදිරිපත් කෙරේ. ‘ශ්‍රී ලංකාද්වීපයෙහි පළමු ව රජ පැමිණි විජය රජු ආදි කොට මෙවකට මෙ දැතුරෙහි රජ පැමිණි අභිෂේකප්‍රාප්ත වූ දෙසිය පනසක් වූ රජුන් හා අභිෂේකප්‍රාප්ත නු වූ බොහෝ රාජ නන්දනයෝ...’ යැයි මෙහි කියැවෙතත් මෙහි අන්තර්ගතය දෙස බලද්දී එපමණ සංඛ්‍යාවක් රාජනාම මෙහි සඳහන් වන්නේ නැත.
මෙහි නම් වශයෙන් හඳුනාගත හැකි රජවරුන්ගේ සංඛ්‍යාව 180 කට ආසන්න ප්‍රමාණයක් පමණි. රාජ රත්නාකරයේ අග භාගය සම්පූර්ණයෙන් ම වැය කොට ඇත්තේ කතුවරයා විසින් අරමුණු කොට ගන්නා ලද මහනුවර (=සෙංකඩගල) රජු වර්ණනා කිරීම උදෙසා ය. කතුවරයා අපේක්ෂිත වූ කෘතියේ උච්චතර අවස්ථාව එය වේ. මේ කෘතියේ නිරූපණය වන වීරයාණන් ඒ රජු වුව ද කතුවරයාගේ ප්‍රමාද දෝෂයකින් හෝ සඳහන් කිරීම අවශ්‍ය නො වෙතැයි සිතීම නිසා හෝ රජුගේ නාමය මෙහි නිරවුල් ව දකින්නට නො පිළිවන. එහෙත් මෙකී රජු මෙහෙණවර වංශයට අයත් වූ සිහසුනට නිසි වූ ක්ෂත්‍රියයෙකු බැව් හුවා දැක්වීමේ හා රජු උත්කර්ෂයෙන් වර්ණනා කිරීමේ ප්‍රයත්නයක කතුවරයා යෙදී ඇත්තේ ය.
සම්භාව්‍ය ග්‍රන්ථ ආශ්‍රය ද ජනශ්‍රැති තොරතුරු ද ස්ව ප්‍රත්‍යක්ෂාවබෝධය ද කතුවරයා මේ රචනය උදෙසා උපයෝගී කොට ගෙන ඇති බැව් පෙනේ. මෙහෙණවර වංශය පිළිබඳ අප්‍රකට තොරතුරු වැනි අනෙකුත් පොත්පත්වල නො එන ඇතැම් ඓතිහාසික කාරණ මේ කෘතියෙන් අනාවරණය වේ. කෝට්ටේ ශ්‍රී පරාක්‍රමබාහු මහරජු රට එක්සේසත් කිරීමේ පුවත පැවසෙද්දී එවක පැවති ගම් දනව් ප්‍රමාණය ගැන කියැවෙනුයේ, ‘... පරාක්‍රමබාහු නම් නරේන්ද්‍රයෙක් රජ පැමිණ අටළොස් වන්නි පත්තු සාධා මායා රජයෙහි දෙලක්ෂ පනස්දහසක් ගම් හා පිහිටි රජයෙහි සාරලක්ෂ පසානුදහසක් ගම් හා රුහුණු රජයෙහි සත්ලක්ෂ පසානුදහසක් ගම් ඇතැයි කියන ලද ත්‍රිසිංහලයට දීප චක්‍රවර්තී ව...’ යනුවෙනි.
රාජ රත්නාකරයෙන් වර්ණනා කෙරෙන ප්‍රස්තුත රජු නිර්නාමික වුව ද එතුමා මෙරට සිටි මහ රජකු මෙන් බල පරාක්‍රමයෙන් යුක්ත නරවිරුවකු ලෙස මෙහි ප්‍රකාශ වේ. රණශූරත්වයෙන් ද විහාරාරාමදිය කරවීමේ ශාසනික සේවයෙන් ද ගම්වර ආදි ප්‍රදානය කිරීමේ පරිත්‍යාගශීලීත්වයෙන් ද තේජස් වී භාවයෙන් ද අනූන වූ රජු ගැන වර්ණනා කරමින් ‘... සුවච කීකරු රජ යුවරජ සෙනෙවිරත් ඈපා මාපා ආදි සේවක මණ්ඩලිකයෙන් යුක්ත ව රජ කරන කල්හි...’ යනුවෙන් පවසමින් ඔහුගේ ප්‍රතාපවත් බව පළ කෙරේ. තව ද ‘සිංහ සමාන වික්‍රම ඇති සිංහල දෙමළ මහ සෙනඟ පිරිවරා...’ යනුවෙන් බලඇණියේ දෙමළ සේනා ද වූ වග කියැවේ.
රාජ රත්නාකරය රචනා වී ඇත්තේ මිශ්‍ර භාෂා ශෛලියකිනි. ඇතැම් පාඨවල සංස්කෘත සත්සම වචන බහුල වුව ද ඇතැම් පාඨ සරල විලාසයක් ගනී. සමහර තැන්වල කෙටි වාක්‍ය යෙදුණ ද සමහර තැන්වල පූර්ව ක්‍රියා හා නිපාත සුලභ වූ අති දීර්ඝ වාක්‍ය දකින්නට ලැබේ. පාලි ගාථා නිතර නිතර යෙදෙනවා පමණක් නො ව එකී ගාථාවලින් පැවසෙන දෑ ම වාක්‍යවලින් ද ප්‍රකාශ වන අවස්ථා බොහෝ ය. තව ද වෘත්තගන්ධි ගද්‍ය ශෛලිය අනුගමනය කිරීම වැනි ලාලිත්‍යමය භාෂා විලාස ද අන්තර්ගත ව තිබේ.
පොදුවේ ගත් කල රාජ රත්නාකරය පුරා විහිදී ඇත්තේ වාර්තාමය ලේඛන ස්වභාවයකි. ඓතිහාසික තොරතුරු ප්‍රකාශ කිරීමේ ආධ්‍යාශයෙන් රචිත කෘතියකින් උපමා අලංකාර ආදියෙන් විචිත්‍ර සුන්දර භාෂා විලාසයක් බලාපොරොත්තු වීම අසීරු ය. මෙහි මුල් භාගයට වඩා අග භාගයේ දී යම් යම් සවිස්තර කරුණු ප්‍රකාශ කිරීම් සඳහා කතුවරයාගේ අවධානය යොමු වී තිබේ. එ බැවින් ඉඳහිට රසවත් යෙදුම් දැකිය හැකි අවස්ථා යෙදේ.
‘කුමුදු වනයක් ප්‍රබෝධ කරවමින් අන්ධකාර විධ්වංශනය කෙරෙමින් දිලිසෙන්නා වූ සූර්ය දිව්‍යරාජයා මෙන් ලංකා නමැති තටාකයෙහි පද්ම නමැති සත්වයන් සතර සංග්‍රහ වස්තු නමැති ආලෝකයෙන් පුබුදු කරවා ශාසනෝපද්‍රව නමැති අන්ධකාරයන් විධ්වංශනය කිරීමෙන් හස්තංගත වූහ... යම් සේ අහසට දමන ලද සක්බර කඨලාදිය භූමියෙහි මුත් අහස නො රඳා ද එමෙන් අහස වැනි යස ඉසුරු හැර මරණ නමැති මහා පෘථිවියෙහි පතිත වූවාහු ය.’
රාජ රත්නාකරය ව්‍යක්ත ගණයේ නිර්මාණයක ලක්ෂණ නො පෙන්නුව ද දේශපාලනික වශයෙන් ව්‍යාකූල වූ කාලයක භාෂා ශාස්ත්‍රාදිය පිරිහෙමින් පවතිද්දී ලේඛන කලාව සහ ඉතිහාස තොරතුරු ආරක්ෂා කර ගැනීම උදෙසා දැරූ ප්‍රයත්නයක් සේ අගය කළ හැකි ය. ඉතිහාසය හැදෑරීම උදෙසා මේ කෘතිය අගනා මූලාශ්‍රයයක් වූ වග පැහැදිලි වන්නේ මහනුවර සමයේ අග භාගයේ දී ලියැවුණු මහාවංශ ඛණ්ඩය රචනා කිරීමේ දී පවා මෙය ආශි‍්‍රත වී ඇති බැවිනි. මේ අනුව රාජ රත්නාකරය යනු ලංකා ඉතිහාසයටත් සිංහල ලේඛන කලාවටත් එළිය ගෙන දුන් කෘතියකි.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.