ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, July 21, 2015

‘මිනිසා යෝධයකු වූයේ කෙසේද’...!!!

‘මට අදහාගන්ඩවත් බැහැ... පළවෙනි පන්තියේ සමර්ථයක් මට ලැබුණා විභාගයෙන්. ඔන්න ඒ වංගියෙ රස්සා පිස්සුවක් ආවා. වයසත් ඉතිං අවුරුදු විසිගාණක් නොවැ. හැබැයි පරණ කර්මාන්තෙ, අත්යන්ත‍්‍ර වැඩේ, ඒකත් අතහැරියේ නැහැ. කොහොම හරි පනස් එකේ සැප්තැම්බර්වල මට සමූපකාර සමිතියෙ රස්සාවක් ලැබුණා. බඩු කිරිලි, බිල් ලියවිලි, කලවමේ ඔය හැම වැඩක් ම කරන්ඩ සිද්ධ වුණා. ඒ කාලේ බොහොම ප‍්‍රසිද්ධියට පත්වෙලා උන්නු පී. ද එස්. කුලරත්න මැතිතුමාගේ වැඩ පිළිවෙළකට අනුව පරම විඥාර්ථ සංගමය හරහා ගුරු පත්වීම් දෙන බවට ආරංචියක් ආවේ ඔන්න ඔය කාලයේ තමා.
නාරාවල පැට්රික් සූරීන්ගේ දිවි තතු විමසන්නට වූ කල මගේ මතකයට නිතැතින් ම පිවිසියේ චිංගිස් අයිත්මාතව්ගේ ‘ගුරු ගීතයේ’ හමුවන දුයිෂේන් නම් ගුරු තාරකාව ය. මානව සමාජයට වැඩදායි මිනිසකු ගොඩනැඟීමේදී ලේඛකයකුගේ මෙන්ම ගුරුභවතකුගේ භූමිකාව ද එකිනෙකට නොදෙවෙනි ලෙස වැදගත් වන්නේ ය යන සංදේශය නාරාවල පැට්රික් වියතාණෝ අසූ වසරක සිය ජීවනානුභූතීන් ඇසුරින් අපට මෙසේ පසක් කර දෙති.

ම කැමැතියි මගෙ ජීවන ගමන තීරණාත්මක ව වෙනස් වුණු තැනකින් අපේ කතාව පටන් ගන්න. මොකද අපේ සාකච්ඡාවේ පදනම ලේඛකයකුගේ ගමන් මඟ නෙ. 1949 වෙනකොට මම ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත‍්‍ර විභාගයට සූදානම් වෙන ශිෂ්‍යයෙක්. ඒ කාලෙ මම ඉගෙන ගත්තෙ නාරාවල පුෂ්පාරාම විහාර පාසලේ. පුංචි බණ්ඩා අමරසිංහ කියලා කැලණිය විද්‍යාලංකාරෙන් ආපු ගුරුතුමෙක් තමා ඒකෙ විදුහල්පති.
මේ පාසලේදී අපට හොඳ ඉංගි‍්‍රසි දැනුමක් ලැබුණා වගේ ම අපේ විෂයය ඥානයත් පුළුල් වුණා. බඹරැන්දේ සිරි සිවලී හිමියන්ගේ ‘ශරීර යන්ත‍්‍රය’ නමැති පොත මට කියවන්න ලැබුණේ මේ කාලෙදි. අමරසිංහ ඉස්කෝල මහත්තයා තමා මට ඒක ලබා දුන්නෙ. මේ කෘතියෙන් විස්තර කෙරුණේ ජීවයේ සම්භවය ඇති වූ ආකාරය. මේ පොත කියැවීමත් එක්ක එපමණ කාලයක් මගෙ ඔළුගෙඩියෙ පිරිල තිබුණු දුර්මත රැසකට කුළුගෙඩි පාරක් වැදුණා වගේ වුණා.
මම ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත‍්‍ර විභාගෙට පෙනී සිටියේ 1950 දී. උපන් දා සිට කතෝලික දහම ඉගෙන ගත්තු මට මාස කීපයක් ඇතුළත බුද්ධ ධර්මය ඉගෙන ගන්ඩ වීම තමා ඊළඟ සන්ධිස්ථානය. මාව අලුත් මිනිහෙක් කරන්න, අධ්‍යාපන මාවතේ ඉදිරියට ම යන්න මට විශාල බලපෑමක් කළේ මෙන්න මේ සිදුවීම් බව අවධානයෙන් ම කියන්න ඕනෑ.”
නාරාවල පැට්රික් වියතාණන් වනස්පති හමුවට ප‍්‍රවේශ වූයේ එලෙසිනි. ඔහුගේ ම ගණන් හිලව් වලට අනුව ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත‍්‍ර විභාගයට ලියන විට ඔහු 21 වන වියේ පසුවුණ තරුණයෙකි. ඒ 21 වසර අපූරු අත්දැකීම්වලින් ගහණ එකක් විය යුතු යයි බැලූ බැල්මට ඕනෑම කෙනෙකුට සිතෙනු ඇත. මට ද එය එසේ ම විය. එබැවින් මම එය හාරවුස්සා බැලුවෙමි.
ඇත්ත ම කියනවා නම් මගේ ජීවිතය මහා අවුල් ජාලයක්. ඒ අවුල අධ්‍යාපනයටත් බලපෑවා. පුත්තලම දිස්ති‍්‍රක්කයට අයිති නාරාවල ගමේ මම උපන්නෙ 1930 මාර්තු 08 වැනිදා. අපේ තාත්තා ගොයිතැන් බත් කරගෙන ජීවත්වුණු දුප්පත් ගැමියෙක්. පවුලෙ එක ම පිරිමියා වුණු මට අකුරු සාස්තරේ උගන්නන්ඩ තාත්තගේ ලොකු ආසාවක් තිබුණා. නාරාවල පල්ලියෙ ඉස්කෝලෙට තාත්තා මාව ඇතුළු කළා. අන්දරේ ගුරුන්නාන්සෙයි එතුමාගේ බිරිඳ මරිය ගුරුන්නාන්සෙයි තමා මුළු පාසලට ම හිටපු ගුරුවරු.
පිරිමි ළමයි පස් දෙනෙකුයි ගෑණු ළමයි හයදෙනෙකුයි විතරයි පස්වන පංතියට යනකන් හිටියේ. මුල් ම අභාග්‍යය උදාවුණේ අන්දරේ ගුරුතුමයි භාර්යාවයි වෙනත් පාසලකට මාරුවෙලා ගියාට පස්සෙයි. දඬුවම් මාරු ලබා ආපු අලුත් ගුරුවරු තුන්දෙනෙක් අපිට දස වද දෙන්ඩ පටන් ගත්තා.
කිසි ම පාඩමක් හරිහැටි ඉගැන්නුවෙත් නැහැ. අන්තිමේදී මගේ පන්තියෙ ඉතුරු වුණේ මායි තවත් ගෑනු ළමයි දෙන්නෙකුයි විතරයි. පහේ විභාගෙන් ගෑනු ළමයි විතරක් සමත්වෙලා මා අසමත් වුණා. එදා තමයි මට අධ්‍යාපනය තිත්ත වුණේ. මම ගෙදර ගිහින් තාත්තට කිව්වා ආයෙත් ඉස්කෝලෙ යන්න බැහැයි කියලා. ඒ කාලේ අපිට එළු පට්ටියක් හිටියා. තාත්තා කිව්වා එළුවො ටික බලාගෙන ගෙදර හිටපන් කියලා.”
අත් යන්ත‍්‍ර පේෂ කර්මාන්තය ගම්දනව් පුරා, ව්‍යාප්ත වීම ඇරැඹුණේ නාරාවල පැට්රික් සිසුවා පාසල් දිවියට ආයුබෝවන් කියා එළුවන් මේච්චල් කරමින් සිටි මෙ’සමයේ ය. යන්ත‍්‍රයේ පොලු පාගන්න කකුල් දිග මදි බැවින් දොළොස් වියැති පැට්රික් ළමයාට වැඩ පුහුණුවන්නකු වශයෙන් නූල් එතීමේ අවස්ථාව ලබාගත හැකි විය. වැඩි කලක් ගතවීමට මත්තෙන් ශිල්පය අල්ලාගත් පැට්රික්ට ගෙදර සිට තනිවම වැඩ කිරීම සඳහා අත් යන්ත‍්‍රයක් තනවා දීමට පියාණන් ඉදිරිපත් විය.

විධිමත් අධ්‍යාපනයෙන් බැහැර ව සිටිය ද පොතපත කියැවීමේ රුචිය පැට්රික් යෞවනයා තුළ දිනෙන් දින මෝරමින් පැවතිණි. අසල් වැසි නිවෙස්වලින් පත්තර හා පොත් ඉල්ලාගෙන කියැවීම ඔහුගේ දෛනික කටයුතු අතර ප‍්‍රමුඛත්වයට පත් විය. මෙබඳු පසුබිමක ඔහු තුළ සැඟැවී සිටි නිර්මාණශීලියා කෙමෙන් අවදි වූ අයුරු පැට්රික් සූරීන් විස්තර කර දුන්නේ මෙසේ ය.
‘පුංචි සන්දියෙ ම මගෙ හිත ඇතුළෙ කලාත්මක හැඟීම් ජනිත කළේ පල්ලියෙ කන්තාරු කණ්ඩායමේ ගීතිකා නිසා ය කියල මට හිතෙනවා. අපේ අම්මා කතෝලික කාන්තාවක්. තාත්තා බෞද්ධයෙක් වුණාට මා අම්මත් එක්ක පල්ලි යාම ගැන කිසිම අවස්ථාවක විරුද්ධ වුණේ නැහැ. තාත්තා හතරේ පන්තියට යනකම් ඉගෙන ගෙන තිබුණා. ඒ වගේ ම කියැවීමටත් හරි ලැදියි. බඩු ඔතාගෙන ආපු පත්තර කෑල්ල පවා කියවන එක තාත්තගේ පුරුද්දක්. සමහරදාට තාත්තා පොඩි අඩියක් ගහගෙන ඇවිත් සුභාෂිතයෙ නැත්නම් ලෝවැඩ සඟාවෙ කවි ගායනා කළා.
තාත්තගෙ තිබුණු තවත් හොඳ පුරුද්දක් තමා සුලු උපදේශය, ඥානෝපදේශය වගේ දේවල් මට කඩ පාඩම් කරවන එක. මොන තරම් නැති බැරිකම් තිබුණත් ඉස්කෝලෙ පාඩම් පොත් ටික කලට වේලාවට අරන් දෙන්ඩ තාත්තා අමතක කළේ නැහැ. නිවාඩු කාලෙ ඉවර වෙනකොට පාඩම් පොත් ටික කියවල ඉවර කරන්ඩ මට පුළුවන් වුණේ තාත්තගෙ ඒ හොඳ පුරුද්ද නිසයි. මෙන්න මේ වගේ දේවල් නිසා කුඩා කාලයේදීම මට රසාස්වාදය පිළිබඳ හැඟීමක් ඇතිකර ගන්ඩ පුළුවන් වුණා කියලයි හිතෙන්නෙ.

අටවැනි පන්තිය සමත් වූවන්ට කොළඹ කාර්මික විද්‍යාලයට ඇතුළු වී පුහුණුවක් ලබාගත හැකි බවට ආරංචියක් ලැබීමත් සමඟ පැට්රික්ගේ අධ්‍යාපන පිපාසය යළි අවදි විය. තාත්තාට පිංසෙණ්ඩු වී නාරාවල පල්ලියේ පාසලට යළි ඇතුළුවීමට පැට්රික් සමත් විය. එහෙත් එහි අධ්‍යාපන කටයුතු එතරම් සාර්ථක වූයේ නැත. පාසලට ම සිටියේ ළමයින් 50 ක් පමණ සංඛ්‍යාවකි. ශ‍්‍රාස්ත්‍රෝද්ග‍්‍රහණයේ අදිටන අත් නොහළ අප ලේඛකයාණෝ ඒ වන විට දියුණු වෙමින් පැවැති නාරාවල පුෂ්පාරාම විහාරස්ථ පාසලෙහි විදුහල්පති තැන්පත් පුංචි බණ්ඩා අමරසිංහ ගුරු පියාණන් බැහැදැකීමට තනිව ම ගියේ ය.
ඔහුගේ අරමුණ සඵල විණි. කවියකු වූ දොන් පියසේන ජයකොඩි ඇදුරුතුමාත්, දයාබරිත ගුරු මාතාවක් වූ හඳගම ඉස්කෝල හාමිනේත් (ඇය අමරසිංහ විදුහල්පතිතුමාගේ භාර්යාවයි) පැට්රික් සූරීන්ගේ අනාගත ගමන්මගෙහි පහන්ටැම් බවට පත්වූයේ දෛවෝපගත ලෙසිනි. අට සමත් ව කාර්මික විදුහලට ප‍්‍රවේශ වීමේ අදහසට නැවතීමේ තිත වැටී ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත‍්‍ර විභාගය ජයගැනීම දක්වා ඉදිරියට යාමට සවිය දිරිය ලැබුණේ මෙලෙසිනි. ඉනික්බිති ව සිය දිවිමඟ හැඩගැසුණු අයුරු නාරාවල පැට්රික්ගේ බසින් ම විස්තර කිරීම මැනවි.
‘මට අදහාගන්ඩවත් බැහැ... පළවෙනි පන්තියේ සමර්ථයක් මට ලැබුණා විභාගයෙන්. ඔන්න ඒ වංගියෙ රස්සා පිස්සුවක් ආවා. වයසත් ඉතිං අවුරුදු විසිගාණක් නොවැ. හැබැයි පරණ කර්මාන්තෙ, අත්යන්ත‍්‍ර වැඩේ, ඒකත් අතහැරියේ නැහැ. කොහොම හරි පනස් එකේ සැප්තැම්බර්වල මට සමූපකාර සමිතියෙ රස්සාවක් ලැබුණා. බඩු කිරිලි, බිල් ලියවිලි, කලවමේ ඔය හැම වැඩක් ම කරන්ඩ සිද්ධ වුණා. ඒ කාලේ බොහොම ප‍්‍රසිද්ධියට පත්වෙලා උන්නු පී. ද එස්. කුලරත්න මැතිතුමාගේ වැඩ පිළිවෙළකට අනුව පරම විඥාර්ථ සංගමය හරහා ගුරු පත්වීම් දෙන බවට ආරංචියක් ආවේ ඔන්න ඔය කාලයේ තමා.
ඉල්ලුම් කළාම සම්මුඛ පරීක්ෂණයටත් ඇරයුමක් ලැබුණා කොළඹ බෞද්ධ මන්දිරයට. කවියක් කියන්න කිව්වහම මට එකපාරට ම මතකයට ආවේ ඇස්. මහින්ද හාමුදුරුවන්ගෙ ‘ඇස් ගෙඩිවලට හෙණ ගහල ද සිහලුන්ගේ’ කියන කවිය. ඒකට පරීක්ෂණ මණ්ඩලයේ ඇත්තන්ගෙ හිත බොහොම පැහැදුණ බව පෙනුණා. පනස් දෙකේ මාර්තු පස්වෙනිදා හලාවත සිරි විජය විද්‍යාලෙට ආධුනික ගුරු පත්වීමක් ලැබුණේ මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළමින්.”
දෛවය හා කාලයා විසින් පැහැරගනු ලැබු සිය ජීවිතයේ උදාර අරමුණු යළි දිනාගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් දියත් කිරීමේ අවැසිතාව නාරාවලයන්ට දැනුණේ ගුරු වෘත්තියේදී මුණ ගැසුණු වියත් සහා මැද ගැවසෙන විට ය. කුමාරතුංග සූරීන්ගේ අනුගාමිකයකු වූ රිචඩ් විජයරත්න විදුහල්පති තුමා අප ලේඛකයාණන්ට පෙරමඟ පෙන්වූවන් අතර ප‍්‍රමුඛයකු විය. 1954 දී නිට්ටඹුව ගුරු විදුහලේ පුහුණු පාඨමාලාවකට දොර කවුළු විවර වූයේ ද එබඳු පුරෝගාමීන්ගේ මඟ පෙන්වීමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. පුහුණුවෙන් අනතුරුව ලුණුවිල ප‍්‍රදේශයේ පාසලකට පැමිණි පැට්රික්ට, ඒ සමයේ යාබද පාසලක සේවය කරමින් සිටි පණ්ඩිත අසෝක කරුණාරත්නයන් දැන හැඳින ගැනීමට ලැබීම ද ඔහු සලකනුයේ සිය දිවි පෙවෙතෙහි මංසලකුණක් ලෙසිනි.
“අඳුරගෙන ටික කලක් යනකොට අසෝක කරුණාරත්න කොළඹ රාජගිරියෙ හේවාවිතාරණ විද්‍යාලයට මාරු වුණා. ඉංගි‍්‍රසි ටිකක් ඉගෙන ගන්න කොළඹ වරෙන් ය කියලා මටත් නිතර ම කිව්වා. කෝට්ටේ විහාර විද්‍යාලෙට මාරුවීමක් හදාගෙන මාත් කොළඹ ආවා. රුපියල් විසිපහකට ඇඳක් අරගෙන අසෝකගෙ කාමරේ ම නතර වුණා. ඒ දවස්වල ඉංගි‍්‍රසිවලට බොහොම ප‍්‍රසිද්ධ කොළඹ ස්ටැෆඩ් කොලේජියට ඇතුළු වුණහම අපට ඉගැන්නුවේ මුනිදාස සෙනරත් යාපා ගුරුතුමා. එතුමා ඒ දවස්වල තමයි ඇනා කරනිනා පොත සිංහලට පරිවර්තනය කරමින් උන්නේ. උන්නැහැගෙ වැඩේ අපිට මොකක්හරි පාඩමක් පවරලා පොතේ පෘෆ් බලන එක. ඒ ඉගැන්නිල්ල මට ඇල්ලුවේ නැහැ. පස්සේ ඒක අතඇරල දැම්මා.”
මෙසේ පැට්රික් සූරින්ගේ දිවි චාරිකාවේ විවිධ මංසල් සනිටුහන් වුව ද පාඨක සමූහයාගේ සිත් පැහැරගත් ලේඛකයකු බවට පත්වූ ආකාරය තවමත් හෙළි නොවීම මගේ කුතුහලය දනවන කරුණක් විය. ‘කෝ ඉතින් තාම අපිට නාරාවල පැට්රික් කියන ලේඛකයා හමුවුණේ නැහැනේ?’
‘සහතික ඇත්ත. මමත් එතෙන්ට එන්න තමයි මෙච්චර වෙලා පාර සකස් කළේ. ඇත්ත ම කියනවානම් මම ලේඛන කලාවට පිවිසුණේ හුඟක් පමාවෙලා. මගේ මුල් ම පොත ‘මිනිසා යෝධයකු වූයේ කෙසේ ද’ නිකුත් වුණේ 1984 දි. ඒ කියන්නේ මම විශ‍්‍රාම ගන්න අවුරුද්දකට කලින්. මම මුලින් ම කිවවා ඔබට මතක අති මගේ ජීවිතේ මහා අවුල් ජාලයක් කියලා. ලේඛකයා ගුරුවරයා වගේ චරිත සමාජයේ පෙරගමන්කරුවන් හැටියට බොහෝ ඇසූ පිරූ තැන් ඇති උදවිය විය යුතුයි. ඒක එදා වගේ ම අදත් මම තරයේ විශ්වාස කරනවා. ඒ නිසා ම දෛවය මට කරපු අභියෝග ජයගන්න මගේ ජීවිතේ විශාල කාලයක් කැප කරන්න මට සිද්ධ වුණා.
1961 අවුරුද්දෙ පේරාදෙණිය සරසවියෙ සිංහල ඩිප්ලෝමාවක් කරන්න වාසනාව ලැබීම ලේඛකයෙක් හැටියට ගොඩනැඟෙන්න අවශ්‍ය පසුබිම සකස් වූ කාලය හැටියට මා සලකනවා. අසෝක කරුණාරත්න, ගුණතිලක සේරසිංහ වගේ පරණ මිතුරන්ට අමතර ව විමල් දිසානායක, කේ.එන්.ඕ. ධර්මදාස, පී.බී. මීගස්කුඹුර, සුචරිත ගම්ලත් වගේ පසුකාලයේ අපේ රටේ වියත් ලේඛකයන් වුණු පිරිසක් ශිෂ්‍යයන් හැටියට ඇසුරු කරන්නට ලැබීම මගේ ජීවිතයේ ස්වර්ණමය මතක සටහන් අතර අදත් ඉහළින්ම වැජඹෙනවා.
ඒ වගේ ම ශී‍්‍ර ලංකාවෙ සරසවි ඇදුරන් අතර කීර්තිමත් ව බැබළෙන සෙනරත් පරණවිතාන, ඩී.ඊ. හෙට්ටිආරච්චි, සරත්චන්ද්‍ර වික‍්‍රමසූරිය, වැනි මහැ’දුරන් තමා අපේ ගුරුභවතුන් වුණේ. වික‍්‍රමසිංහ, ජයතිලක වගේ ලේඛකයන්ගේ පොත් ගැන, රුසියානු සාහිත්‍යය පිළිබඳ ව සාකච්ඡා සංවාද අපේ අතර පැන නැඟුණෙත් මේ කාලයේ තමා. ශිෂ්‍ය සංගම්, නාට්‍ය කණ්ඩායම්වලත් වැඩ කරමින් බොහොම කි‍්‍රයාශීලි ජීවිතයක් ගත කරන්නට අපට අවස්ථාව උදාවුණා.’
‘How man became a Giant’ නම් රුසියානු ලේඛන මිහයිල් ඉලින්ගේ කෘතිය නාරාවල පැට්රික්ගේ ඇස ගැසෙනුයේ කුරුණෑගල කොමියුනිස් පක්ෂ කාර්යාලයේ රුසියන් පොත් අලෙවි හලේදී ය. 1963 දී පේරාදෙණියේ සිට කුරුණෑගල දිගන්පිටිය විදුහලේ ගුරු වෘත්තියට යළිත් පැමිණි පැට්රික් සිය ඉංගී‍්‍රසි දැනීම උරගා බලනු පිණිස මේ කෘතිය සිංහලට නඟන්නට පටන් ගත්තේ ය. ඒ අතරතුර පේරාදෙණියේ බාහිර උපාධිය ද සම්පූර්ණ කළ ඔහු 1976 වන විට කෘතියේ පරිවර්තන කටයුතු නිමා කළේ ය. කුරුණෑගල ජනතා ලේඛන පෙරමුණේ ශාඛාවක් ඇරැඹුණේ ද එකල ය. එහි ගිය පැට්රික්ට කේ. ජයතිලක හා ඩබ්ලිව්. ඒ. අබේසිංහ ලේඛකයන් හඳුනාගන්නට ලැබිණ.
ලේඛක පෙරමුණේ ශාඛා සමිති ලේකම් කම ද පැට්රික්ට ලැබිණි. ඒ හමුවීමෙන් පසුව පැට්රික් සිය පරිවර්තනය ප‍්‍රකාශයට පත් කරගැනීමට උදව් ඉල්ලා අබේසිංහයන්ට ලිපියක් ලියුවේ ය. අබේසිංහයෝ පැට්රික් ගුණසේන විතානයන් වෙත යොමු කළහ. විතාන මහතා අත්පිටපත භාරගත්ත ද වසර කිහිපයක් යනතුරු ඒ පිළිබඳව යහපත් ප‍්‍රතිඵලයක් අත් නොවිණි. අවසානයේ 1984 දවසක විතානයන් ගෙන් පැට්රික්ට විදුලි පුවතක් ලැබිණි. එහි සඳහන් වූයේ මොස්කව්හි ප‍්‍රගති ප‍්‍රකාශනයක් විසින් ‘මිනිසා යෝධයකු වූයේ කෙසේද?’ පොත මුද්‍රණය කර ලංකාවට එවා ඇති බව ය.
‘මිනිසා යෝධයකු වූයේ කෙසේද’ කෘතිය නිකුත් වී වැඩි කලක් යාමට මත්තෙන් නාරාවල පැට්රික් නාමය මෙරට පාඨක ප‍්‍රජාවගේ මතකයේ ගැඹුරින් ම ලියැවිණ. ප‍්‍රමාද වී ලේඛන කලාවට පිවිසීමේ වන්දිය ගෙවන්නට මෙන් හෙතෙම ස්වතන්ත‍්‍ර, පරිවර්තන, හා සංස්කෘත කෘති රැසක් ම සාහිත්‍ය ක්ෂේත‍්‍රයට දායාද කළේ ය. ‘නොරඳන අමාදිය’ ‘මතිගාරි’ ‘අවු ගිනි දැල්’ ‘සෘග්වේදගීතාවලී’, කුමාරසම්භව, මේඝදූත, නුවණැත්තෝ, එලොවින් අස්සයෙක්, විප්ලාවංකූරෝ ආදිය පසුගිය දශක ඇතුළත එසේ එළිදැක්වූ ග‍්‍රන්ථ අතර කිහිපයකි. දහසකුත් එකක් දුම්කම්කටොලු හා අභියෝග අතරින් මෙබඳු දුෂ්කර ගමනක් එන්නට ඔහුට දිරිය හා ශක්තිය ලැබුණේ කෙසේදැයි අපගේ දීර්ඝ කතාබහ අතරතුර දී මම විමසා සිටියෙමි.
ඔබ අහලා ඇති බුද්ධ දේශනාවේ තියෙනවා පාරමිතා පිරීමක් පිළිබඳව. පාරමිතාවක් පිරීමේදී කරුණා දයාව, කුසලතාව, අධිෂ්ඨානය, වීර්යය, කැපකිරීම වගේ ම යහපත් අරමුණකුත් තිබිය යුතුයි. මිනිහෙක් උපදින කොට කිසිම කුසලතාවක් දෑතේ මිටිකොටගෙන එන්නේ නැහැ. තමා තුළ තියෙන ශක්තියෙනුයි මිනිසා ඒවා අත්පත් කරගන්නේ. “Man is not born with any Skills. He aquires them”  කියන ඉංගි‍්‍රසි කියමනෙන් එය මනාව පැහැදිලි වෙනවා.
මහා උගතුන් නොවුනත් කුඩා සන්දියෙදී මගේ දෙමව්පියන් මට අකුරු සාස්තරේ උගන්නන්ට දරපු උත්සාහය මෙබඳු ගමනක් එන්න පිටුබලය ලබා දුන් මූලික ශක්තිය ලෙස මා සලකනවා. ඊළඟට මා වන් දරුවන් ළයට තුරුළු කරගෙන ගල් ලෑල්ලේ අකුරු ලියූ මරියා ගුරු මාතාවගේ සිට ඩිප්ලෝමාවෙන් නොනැවතී සිංහල ගෞරව උපාධියක් කරන්න ය කියලා උපදෙස් දීපු මහාචාර්ය හෙට්ටිආරච්චි වගේ ගුරු දෙවිවරුන් දක්වා සියලු දෙනාම මා මෙතැනට ඔසවා තබන්නට අපමණ වෙහෙසක් දැරුවා. නිට්ටඹුව ගුරු විද්‍යාලයේ ඩී. පී. රණසිංහ විදුහල්පතිතුමා දවසක් මට කිව්වා විද්‍යාලයෙන් පිටවුණාට පස්සෙ ගිහින් පණ්ඩිත හාමුදුරුනමක් ඇසුරු කරපන් කියලා.
තමන්ට වඩා වැඩි දැනුමක් තියෙන අයගේ ඇසුර මොනතරම් වටිනව ද කියන එක එදා මම තේරුම් ගත්තා. මට කෙටියෙන් කියන්න තියෙන්නේ අධිෂ්ඨානය හා ස්වෝත්සහය විසින් අද මා මෙතැනට රැගෙන එනු ලැබ ඇති බවයි.’
එතෙක් මට අමතක වී තිබු කරුණක් හදිසියේ ම සිහිපත් විණි. එනම් නාරාවල පැට්රික් ලේඛකයාගේ විවාහය ඇතුළු පෞද්ගලික දිවියේ තොරතුරු ය. ඔහු ඊට පිළිවදන් සැපයූවේ මඳහසකින් මට ප‍්‍රතිචාර දක්වමිනි.
මගෙ විවාහයත් ටිකක් අමුතු විදිහකටයි සිද්ධ වුණේ. මා කාක පල්ලියේ උගන්වද්දී සුසිලා කියා ශිෂ්‍යාවක් හමුවුණා. ඉගෙනීමට බොහොම දක්ෂ දුප්පත් සිසුවියක්. මා ඇගේ දෙමාපියන් හමු වී යෝජනාව ඉදිරිපත් කළා. කැමැත්ත ලැබුණට පස්සේ ස්ථාන මාරුවක් අරන් ලුණුවිලට ආවා. එයා ගුරු විද්‍යාල ප‍්‍රවේශය සමත් වී ගුරුවරියක් වුණාට පස්සෙයි අපි විවාහ වුණේ. සුසිලා කිව්වට එයාගේ නියම නම වොල්සි මාගරට්. අපට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. දෙන්නම දැන් විවාහ වෙලා. දෙන්න ම යෙදිල ඉන්නෙත් එක ම වෘත්තියක. ඉංජිනේරු වෘත්තියේ. අපි ගැන ඒ ටික හොඳට ම ඇති.
ප‍්‍රවීණ ලේඛකයකු මෙන් ම පළපුරුදු ගුරුවරයකු හැටියට පාඨක සමූහයාට සේ ම දරු පරපුරටත් පැවසීමට කැමැත්තේ කුමක්දැයි අපේ කතාබහ නිමා කරන මොහොතේ මම විමැසුවෙමි.
මගේ වෘත්තිය ජීවිතය පුරා කියා ඇති සේ ම නව පරපුරටත් නව පරපුරේ මවුපියනටත් දෙන්නට ඇති පණිවිඩය නම් ඔබේ ඉරණම රඳ්‍ර පවතින්නේ ඔබ ලබන අධ්‍යාපනය මත බවයි. අද වලංගුව පවතින ගෝලීය බලපෑම තුළ නම් සමාජය අත්දකින්නේ අප වැනි උදවිය නිකුත් කරන පණිවිඩවලින් සන්නිවේදනය වන සාරධර්ම හෝ ඥානදර්ශන නෙවේ. එනිසා අප වැන්නවුන්ට කළ හැකි මඟපෙන්වීම හෝ බලපෑම ඉතා අල්ප විය හැකියි.
කොහොම වුණත් සමාජයක නිර්මාණාත්මක කුසලතා වර්ධනය කිරීමටත් ඥාන සම්පත් පෝෂණය කිරීමටත් අප ශක්ති පමණින් දායක විය යුතුයි. ලේඛකයා සමාජ පෙරගමන් කරුවෙක් වෙන්නේ එලෙසයි. වයසත් සමඟ බැඳී ඇති ගැටලු නිසා පෙරදී කළාක් මෙන් හිතේ හැටියට වැඩ කිරීම අමාරුයි. අවසන් වශයෙන් කිය යුත්තේ ජීවිතයේ සැඳෑ සමය ගතකරමින් සිටින මවැන්නෙකුට බුදුන් වහන්සේ දෙසූ දහම් සම්භාරය ඇසුරු කරමින් ජීවිතයේ ඉතිරි ටික ගෙවා දමන්නට හැකිනම් එය අපූර්ව නිවීමක් හා සැනසීමක් ද වන බවයි.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.