සාගර පලන්සූරියගේ විශිෂ්ට විජයග්‍රහණයේ සතුට ප්‍රීතිය මුළු හොරණ පුරවරය පුරා අප්‍රේල් 06 වැනිදා උදේ පාන්දරම පිටාර ගලා ගියේය. හොරණ තුං මං හන්දියේ බෝගස සමීපයේ සිට ආසනය පුරාම තුං මං සතර මං හන්දිවල කිරි බත් අතිරස කැවුම් කොකිස් සහිත ප්‍රීති උත්සවයන් ය. හොරණ ආසනය තුළ රයිගම්පුර ඉතිහාසයේ පළමුවරට මෙබඳු කිරිබත් මංගල්‍යයක් පැවැත්වී දැයි බොහෝ දෙනා සැක පහළ කළහ. දැන් දේශපාලන වාද බේදකම් නැත. අලියා ලකුණට ජන්දය දුන් ජන්දදායකයන්ට සාගරගේ පාක්ෂිකයෝ විශේෂ දඬුවමක් සමහර තැනකදී ලබා දුන්හ. ආරාධනා කර කිරි බත් මංගල්‍යයට නො පැමිණි අය අල්ලා බලහත්කාරයෙන් කිරිබත් කන්නට දුන්හ. බොහෝ ගම්වල ගැහැනු මිනිස්සු වටපිටාවේ සිටින එජාපයට ජන්දය දුන් නිවෙස්වලට කිරිබත් පිඟන් රැගෙන ගොස් සතුට ප්‍රීතිය බෙදා ගත්හ.