ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 15, 2014

කෙටි කලක් තුළ කවි ටිකක් කොට වැඩි යමක් කී කුමාරගම...

කුමාරගම ගේ කවි බස ඔහුගේ කේවල හඬෙහි ම අභින්න ප‍්‍රතිඵලයකි. එහි බැලූ බැල්මට ඇත්තේ අනායාසකර සරල බවකි. සෙවි බස ද කටවහරේ බස ද මුසු කොට තනාගත් මේ බසෙහි රසිකයාට එක්වර ම පෙනෙන අනායාසකර ගුණය මුළාවකි. එය කවියා විසින් නිරන්තර අභ්‍යාසයකින් වෙහෙස මහන්සියකින් හා අත්හදා බැලීමකින් ද තනා වඩා ගත්තකි.


 2015 ජනවාරි 17 දින, විමලරත්න කුමාරගමයන්ගේ 96 ජන්ම දිනයවේ...


විලියම් වර්ඩ්ස්වර්ත් නම් ප‍්‍රකට ඉංගී‍්‍රසි රොමෑන්ටික් කවියා, “ලිරිකල් බලාඩ්ස්්” නම් තම කවි එකතුවට ලියූ ප‍්‍රස්තාවනාවේ, කවියා හැඳින්වූයේ “කවියා යනු මිනිසුනට කථා කරන මිනිසෙක්” යනුවෙනි. (A poet is a man speaking to men) එහෙත් කවියා අන් මිනිසුන් අතර වෙසෙන තවත් මිනිසකු වුව ද ඔහු තුළ තිබිය යුතු යයි වර්ඩිස්වර්ත් පෙන්වා දුන් සුවිශේෂ ගුණාංග නිසා, කවියාට අන් අයට නොමැති කේවල හඬක(Individual Voice)  තිබිය යුතු යැයි සිය ලිපියෙන් ගම්‍ය කෙළේ ය.
පොදු සංඝය  (Community)  විසින් බාහිර සත්තාව හා සමඟ ප‍්‍රතිකි‍්‍රයා කරන විට ඒ පිළිබඳ ව ඔවුන් පවසන සාමාන්‍ය අදහස් ම (General Statements කවියා ගෙන් ද කියැවෙන්නේ නම් ඔහු කවියකු වන්නේ නො වේ. උදෑසන කවුළු හැර එළිය බලන විට තොරතෝංචියක් නැතිව කෑ ගසන දෙමලිති හඬ ඔබ අසා ඇතිවාට සැකයක් නැත. එක ම හඬක් සාමුහික ව නඟන එය ඒකාකාරී ය. එහෙත් බොහෝ සේ දොඩමළු ය.
ඒ හඬ පොදිය ඒකතානමය වෙයි. අසත් අසත් ම එපා වෙයි. එහෙත් ඉඳහිට නැඟෙන කහ කුරුලු නාදය ඔබ අසා තිබේ ද? කහ කුරුල්ලා සහ කිරිල්ල අතු දෙකක වසාගෙන උබ බසකින් ගයන නා නා නාද රටාවලිය අසන්නට මිහිරි ය. සුළඟ පවා නැවතී අසා සිටින තියුණු නාද රටා ඒ උබ බසෙන් මතුවෙයි. කවියා ගේ හඬ දෙමලිති හඬක් නො ව කහ කුරුලු හඬක් විය යුතු ය.
ඒ නන්විධ හඬ උත්පාද වනුයේ කවියා සාමාන්‍යය නො ව (Generality)  විශේෂ්‍යය (Particulatity)ගැන කතා කරන හෙයිනි. කවියාට ම ආවේණික ඔහු ගේ ම කේවල හඬක් Individual Voice) ගොඩනඟා ගත හැක්කේ මෙවිට ය. කුමාරගම මෙවන් කේවල හඬක් නැගූ කවියෙකි.
නූතන කාව්‍ය සාහිත්‍යය හදාරන විද්‍යාර්ථීන් කොළඹ යුගයේ දෙවන භාගය නමින් විශේෂ කොට සලකන කවි පරපුර අතර පහළ වූවෙකි. විමලරත්න කුමාරගම කවියා, එතුමා ගේ 89 වන ජන්ම දිනය සමරන මේ අවස්ථාවේ ඔහු ගේ චරිතයෙන් ජීවන තොරතුරු ස්වල්පයක් ගෙන හැර දැක්වීම අවස්ථෝචිත වනු පමණක් නො ව, ඔහු ගේ කවි මඟෙහි විශේෂ සලකුණු වැටීම කෙරෙහි ද ඔහු ගේ ජීවන පැවැත්ම බලපෑවේ දැයි සිතා බැලීමට ඉන් ඉඩ ලැබේ.
ඔහු උපන්නේ 1919 ජනවාරි 18 වන දා ය. පාතදුම්බර පලිස්පත්තුව බස්නාහිර කෝරලයේ නාරම්පනාව නම් වූ ගමේ ඔහු ඉපැදිණි. ඔහු ගේ පියා පුංචි බණ්ඩා කුමාරගම වෘත්තියෙන් මුල් ගුරුවරයෙක් විය. මවු තොමෝ කේ. එච්. බණ්ඩාර මැණිකේ වූවා ය. ඔහු හත් දෙනකු ගෙන් යුතු දරු පවුලක දෙවැන්නා ය.
පාසල් කිහිපයකින් ම කුමාරගම අධ්‍යාපනය ලබා තිබේ. මහනුවර මඩොල්කැලේ වේරපිටිය විද්‍යාලයයෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඔහු, තෙල්දෙණිය ද්විභාෂා විද්‍යාලයයෙන්, කටුගස්තොට ශී‍්‍ර රාහුල විද්‍යාලයයෙන් හා මහනුවර ධර්මරාජ විද්‍යාලයයෙන් ද ද්විතීය අධ්‍යාපනය ලබා ඇත. 1935 ඔහු එවක ලාංකේය ශිෂ්‍යයකු සමත් විය හැකි ඉහළ ම විභාගයක් වන ලන්ඩන් මැටි‍්‍රකියුලේෂන් විභාගයෙන් සමත් විය.
රජයේ රැකියාවකට ඔහු පත් වන්නේ 1935 දී ම ය. ඒ අනුරාධපුර කච්චේරියේ ලිපිකරුවකු ලෙස ය. ලිපිකරුවකු ලෙස ඔහු පත්වීම ලබන්නේ 16 වැනි නාඹර වියේ දී බව මින් පෙනේ. 1942 දී ඔහු ආදායම් පාලක නිලධාරි විභාගය සමත් ව මුලින් ම අනුරාධපුර කච්චේරියේ ද, අනතුරු ව පුත්තලම ආනමඩුව දෙමළ හත්පත්තුවේ ද ආදායම් පාලක නිලධාරි ලෙස කටයුතු කර ඇත.
මේ අතරතුර ඔහු විසින් 1940 දී එනම් ඔහු ගේ වයස අවුරුදු 18 දී “සංවේග වේදනා” නම් තම ප‍්‍රථම කාව්‍ය සංග‍්‍රහය පළ කරන ලදී. ඔහු ගේ රාජකාරි ජීවිතය ගැන කියතොත් ඉන්පසු ඔහු හඟුරන්කෙත, කලවාන, මහියංගනය, කෑගල්ල, කුරුණෑගල හා අන්තිමට නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ කොත්මලේ ද ආදායම් පාලක නිලධාරි ලෙස කටයුතු කෙළේ ය.
මේ අවසානයට කියූ ස්ථානයේ රාජකාරි කරමින් සිටිය දී ඔහු හදිසි රෝගයකින් 1962 දෙසැම්බර් 30 වන දා අභාවප‍්‍රාප්ත වෙයි.
මෙසේ ඔහු ගේ මුළු ආයු කාලය අවුරුදු 43 ක් පමණ යි. රජයේ සේවය අවුරුදු 27කි. නිර්මාණ ජීවිතය ද අවුරුදු 27 කි. මේ කෙටි කාලය තුළ දී ඔහු මුද්‍රණයෙන් පළ කරන්නේ කාව්‍ය සංග‍්‍රහ දෙකක් පමණි. ඒවා නම් සංවේග වේදනා හා හපුමලී යන කාව්‍ය සංග‍්‍රහ දෙක යි.
ඔහු ලියූ කාව්‍ය සමුච්චය තුළ දීර්ඝ කාව්‍ය රචනා කිහිපයක් තිබුණ ද, ඔහු වඩාලාත් ලියුවේ අප දැන් භාව කාව්‍ය යැයි විටෙක හඳුන්වා දෙන ඉංග‍්‍රීසියෙන් ලිරිකල් පොයටි‍්‍ර (Lyrical Poetry) යැයි වහරන කවි පන්ති කිහිපයක් පමණක් ඇති කවිය. එවක පළවුණු ප‍්‍රසිද්ධ කාව්‍ය සඟා වන මී වදය, උක්දඬු දුන්න වැනි කාව්‍යා සඟාවලට ද ඔහු කවි පන්ති සැපැයුවේ ය.
විමලරත්න කුමාරගම ගේ එකතු කළ කවි නමින් සුසිල් සිරිවර්ධන හා එස්. විජේසූරිය යන මහතුන් පළ කළ ග‍්‍රන්ථයේ ඔහු ලියූ සම්පූර්ණ කාව්‍ය පන්ති හැටියට සඳහන් වන්නේ කවි පන්ති 170ක් පමණි. 1962 දී එනම් ඔහු විසූ අවසාන වර්ෂයේ ඔහු පවත්වාගෙන ගිය දිනපොතේ සටහන් කළ පැදිවලින් ලියූ සටහන් යම් ප‍්‍රමාණයක් ඇත ද ඒවායින් බොහොමයක් කවි ලෙස සැලැකීම අපහසුය. ඒවා පෞද්ගලික සටහන්වලින් ඈතට යන්නේ කලාතුරකිනි.
මෙහි දී මෑතක දී නිකුත් කළ පී. බී. අල්විස් පෙරේරා කිවිඳුන් ගේ එකතුකළ කවි 15,000 ක් පමණ ඇති බව එමෙන් ම කුඩලිගම කිවිඳුන් ගේ කාව්‍ය එකතුවේ දහස් ගණනක් කවි ඇති බව ද සඳහන් කිරීම උචිත ය.
ඔහු ඇසින් දුටු අය කියන විදියට කුමාරගම හොඳ කඩවසම්, ආරෝහ පරිණාහ දේහධාරි තැනැත්තෙකි. ඔහු ගේ උස අඩි හයකට අඩු වූයේ මඳකින් යැයි ද කියනු ලැබේ. ඔහු ගේ අක්බඹරු කෙස් කළඹ පිළිබඳ ව විශේෂයෙන් සඳහන් වේ.
එකල විසූ කවීන් අතර වඩාත් ම කඩවසම් තැනැත්තා ඔහු බව යි කියැවෙන්නේ. “සිංහල කවිය හෘදයංගම ලකුණ - විමලරත්න කුමාරගම’ නමින් මහින්ද චන්ද්‍රසේකර, රත්න කේ. පෙ‍්‍ර්මසිරි, ටෙරන්ස් වනිගසිංහ තිදෙන විසින් සංස්කරණය කරන ලද ලිපි එකතුවේ ටෙරන්ස් වනිගසිංහ ලියූ “මම ඔහු සොයා ගියෙමි” යන ලිපියෙහි පේත්තුකුලමේ ගුණ මාමා නමැති කුමාරගම ඇසුරු කළ ගැමියකු ඔහු පිළිබඳ ව මෙසේ සඳහන් කළ බව කියැවෙයි.
 “අපියි මහත්තයාට තනි රැක්කේ, හරි විනෝදකාමියා... ඒ වගේමයි රාජකාරියත්, ඇවිදින්න රුසියා... මං දැක්කේ නැහැ ඒ වගේ ලස්සන පිරිමියෙක්. තට්ටු රැඳි කොණ්ඩෙ. හඳපාන වගේ පින්බර මූණ... කවුරුත් වශී වෙනව.” කවීන්, ප‍්‍රබන්ධකරුවන්, ගායකයන්, නෘත්‍ය ශිල්පීන් බොහෝ දෙනකු ඉතා කෙටි කලක් ආයු වලඳ්‍ර මිය යන්නේ ඇයි? මේ පිළිබඳ ගවේෂණයක් කරන්නකුට මෙය හොඳ නිමිත්තකි. වයස 50 පිරෙන්නටත් පෙර මිය පරලොව ගිය අප රටේ නිර්මාණකරුවන් බොහෝ දෙනකු මෙහි දී සිහියට නැඟේ.
 ලෝක මානයෙන් ගත්තත් තත්ත්වය මෙසේ ම ය. ජීවිතය නම් වූ බුර බුරා දැවෙන ගිනි මැලයට වඩ වඩා ළංවීම නිසා ඔවුහු අකාලයේ දැවී ගියෝ ද? ඒ ගිනි මැලයෙන් ම උණුසුම ලැබුව ද වඩා ඈතින් සිට, නැතිනම් ළං වී නො ළං වී සිට ජීවිතය ගෙවන අප වැන්නන් වෙත ප‍්‍රදානය කළ අමරණීය තිළිණ වෙනුවෙන් ඔවුහු මරණයෙන් වන්දි ගෙවූවෝ ද? කෙසේ වුව ද මෙය වෙන ම විමැසිය යුතු කරුණකි. කුමාරගමයෝ ද මේ ගණයට වැටෙති.
කුමාරගම විසූ සමයේ, කාව්‍යාම්බරයෙහි දිදුලු අනෙක් කවි තාරකාවන් වූයේ පී. බී. අල්විස් පෙරේරා, සාගර පළන්සූරිය, එච්. එම්. කුඩලිගම, මීමන පෙ‍්‍ර්මතිලක, බැන්ටිස් රණවීර, කපිල ඊ. සෙනෙවිරත්න, උඳුගොඩ නවරත්න ආදීහුය.
කුමාරගමගේ චරිතාපදානය පිළිබඳ මෙය පුළුල් පින්සල් පහරවල් හැරෙන්නට ඔහුගේ අභ්‍යන්තර ජීවිතය පිළිබඳ සඳහන් වන මුල් ශ්‍රෝතස ඇත්තේ ඉතා අඩුවෙනි. ඔහු දිවි ගෙවා ඇත්තේ තනිකඩයකු ලෙස ය.
සාපේක්ෂවක ව බලන විට ඔහු පෙම් කවි ලියා ඇත්තේ ද අඩුවෙනි. එවක ඉතාමත් දුෂ්කර පළාත්වල ඔහු සේවය කර ඇත. යෑම් ඊම් අපහසුකම් නිසාද, රාජකාරි බහුල බව නිසා ද තමා ගේ අනෙක් කවි සගයන් සමඟ ඔහු නිතර පයුරුපාසානය කළා යැයි සිතීම අසීරු ය. හුදෙකලාව ඔහු අතැර නොගිය සගයකු බව ඔහු ලියූ තනිකම හා හුදෙකලාව වැනි කවිවලින් ද, දිනපොතේ ඔහු ලියූ බොහෝ සටහන්වලින් ද පැහැදිලි වේ.

මළසර වැළඳ ගති හෙමිහිට සවන්    පෙති
පෙරදිග කොණක මහ ø ඇත ගුවන්   පති
මගෙ හදවතේ දහසක් මහ සටන්     ඇති
මියගිය සිහින පුබුදින්නට පටන්        ගති
(හුදෙකලාව)

මගේ ගෙදර
මා පමණයි
සීතලයට
උණුහුමකට

මගේ ගෙදර
මා පමණයි
මගෙ බල්ලා
මගෙ කොල්ලන්
ලෙඩ දුකකට
උණුහුමකට
මගේ ගෙදර
මා පමණයි

මගෙ කිවිකම
මගෙ හොඳ හිත
දකුණත හා
රසදත් ඇස

තිබෙන තුරා
මට තනි නෑ
(තනිකම)

මේ අනුව කොළඹ යුගයේ අනික් බොහෝ කවීන් මෙන් නිතර නිතර හමුවීමි. සාද සංග‍්‍රහ පැවැත්වීම්, හිටිවන කවි මඩුවලට සහභාගිවීමට ඈත ගමන් යෑම් කිරීමට ඔහුට ලැබුණු අවස්ථා මඳ බව පෙනේ. ඇත්තෙන් ම ඔහු හිටිවන කවි කීම පවා පි‍්‍රය නොකළ බව ද කියැවෙයි.
රාජකාරිය, ඉඳහිට තමා සොයා ගෙන පැමිණි මිතුරන් හමුවිම හැරෙන්න හුදෙකලාව ම තමා සමඟ ඇතුළු භාෂණයක නිරත වීම ඔහු ගේ ජීවන රටාව වූ බව පෙනේ. ඔහු ගේ ආදායම් පාලක රාජකාරිය පොදු ජනතාව ගේ ජීවන රටාවට ඉතාමත් සමීප විය.
උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වා ජීවිතයේ කුදු මහත් කටයුතු කැරකුණේ ඩී ආර් ඕ කන්තෝරුව වටා ය. ඈත වන්නි පළාත්වල එවක පොලිසි ද නොවුණෙන් පොලිස් බලතල පවා තිබුණේ ඩී ආර් ඕ මහත්තයාට යි. මහ ආණ්ඩුවේ හස්තය මේ වන්නි මහ වනාන්තරයේ වැසියන් වෙත දිගු වුණේ ඩීආර්ඕ උන්නාන්සේ හරහා ය.
ඉතාමත් සමීප ව ගැමි ජීවිතය නිරීක්ෂණයටත්, ඒ නිරීක්ෂණයන් තමා අත්විඳි දේ කර ගන්නටත් සංවේදි පුද්ගලයකුට මෙය ඉතා හොඳ අවස්ථාවක් විය. වර්ඩ්ස්වර්ත් කවියා ගැන කළ විස්තරයේ දි කියූ පරිදි “ජීවයෙන් පිරුණු සංවේදීතාවයෙන් යුතු” කුමාරගමයන් ගේ කවි කල්පනාවන් කුප්පවීමට මෙය හොඳ තෝතැන්නක් විණි.
කියවීම ඔහු ගේ විවේකය වසා ගත් ප‍්‍රධාන කටයුත්තක් වන්නට ඇතැ යි සිතීම සාධාරණ ය. ඔහු ඉංගී‍්‍රසි සහ සිංහල ද්විභාෂා උගතෙක් විය. ඒ ද්විභාෂිකත්වය එකල සිංහල කවීන්ට තිබුණේ කලාතුරකිනි. කවියට අමතර ව දේශපාලනය, දර්ශනය, ආගම් පිළිබඳ තොරතුරු අඩංගු පොතපත ඔහු කියවන්නට ඇතැ යි අනුමාන කළ හැකි ය.
ඉහත සඳහන් කළ සිංහල කවියේ හෘදයංගම ලකුණ විමලරත්න කුමාරගම නම් ලිපි සංග‍්‍රහයට විමලරත්න කුමාරගම නැවත කියවීම නමින් ලිපියක් සපයන රත්න ශී‍්‍ර විජේසිංහ කවියා එක් තැනෙක කරන සඳහන මෙයට උදාහරණ සපයයි.
“ෂෙක්ස්පියර්ගේ tongues trees, books on running brooks, sermons in stones and good in everythingයන්නෙහි රස දැකීමටත්,

මඩ වගුරකින් මතුවන    දේසනාවකි
නදියෙන් රිදීමය පෙම්    භාවනාවකි
මෙදියත දිවිය සැපමුසු  වේදනාවකි
කවියකු වීම එබැවින්     වාසනාවකි

to me the meanest flower that blows can give thoughts that do often lie too deep for tears යන්නෙහි කවිත්වය දැකීමටත්,

වැඩිවිය බලා යන බිළිඳුගෙ සිනා    මත
අඩියෙන් අඩිය දුක් රහසක් කවා    ඇත
වැඩි පද කුමට කටු අකුලක නිවා    සිත
පොඩි පෙඳ පඳුර මට කඳුළට පවා  ඇත


යන්නෙහි රසයක් හෝ ගැඹුරක් හෝ කවිත්වයක් නොදැකීමේ රහස කුමක්ද?”
මෙවැනි උදාහරණවලින් පෙනෙන්නේ කුමාරගම ෂේක්ස්පියර් මෙන් ම වර්ඩ්ස්වර්ත් වැනි රොමැන්ටික් කවීන් ගේ කවි ළඟින් ඇසුරු කළ බව යි.
මේ සියලු ම කරුණු එනම් කුමාරගම ගේ නිපන් සංවේදිත්වය, ඔහු ගේ චින්තන ප‍්‍රභාවය, ඔහු පෙළුෑ හුදෙකලාව, විවිධාකාර අත්දැකීම් ලැබීමට ඔහුට ලැබුණු අවසරය හා ඒ පිළිබඳ රුචිය ලැබූ අත්දැකීම් ගැඹුරින් ආවර්ජනය කිරීම සහ ඔහු ගේ ඇසූ පිරූ තැන් ඇති බව කුමාරගම ගේ කවිත්වය මුවහත් කිරීමට හේතු භූත වූ කරුණු බව පෙනී යයි.
විමලරත්න කුමාරගමයන් ගේ කවි ඔහු ගේ සමකාලීන කවි සගයන් ගේ කවි අතරින් ඉස්මතු ව පෙනෙන බව පොදුවේ පිළිගත් සත්‍යයකි. මේ වෙනසට හේතු සාධක සපයන විවේචකයෝ ඒ පිළිබඳ විවිධ අදහස් දක්වති.
 අත්තනායක එම්. හේරත් “සිංහල කවියේ හෘදයංගම ලකුණ” නම් ඉහත දැක්වූ ලිපි සංග‍්‍රහයට සැපැයූ ලිපියේ මෙවැනි අදහසක් දක්වයි. “විමලරත්න කුමාරගම කවියා යටපත් කළ හැකි කවියෙක් නො වේ. කවියෙකුට අවශ්‍ය සංවේදීතාව කුමාරගමට තිබිණි.”
“විමලරත්න කුමාරගම ගේ එකතු කළ කවි” කෘතියට දීර්ඝ ප‍්‍රස්තාවනාවක් සපයන එහි සංස්කාරකයන් සපයන්නේ මෙවැනි දෙයකි. “කුමාරගම බහු ජනතාව වෙනුවෙන් බහු ජනතාව සඳහා කවි ලියූ බව අප කීවා. ඒ නිසා කුමාරගමයි, බහු ජනතාවයි, සමාජ ඉතිහාසයයි අතර දැඩි බැම්මක් පවතී.”
ඉහතින් පැවසූ කුමාරගම “සිංහල කවියේ හෘදයංගම ලකුණ” ලිපි සංග‍්‍රහයේ මහාචාර්ය ජිනදාස දනන්සූරිය පවසන්නේ මෙවන් අදහසකි. “කවියකු වශයෙන් ගොඩ නඟා ගත් අනන්‍යතාව හේතුකොටගෙන කොළඹ යුගයට අයත් අවශේෂ සමකාලීන කවීන් සියලු දෙන අභිබවාලීමට කුමාරගමට හැකි විය.”
කවියා ගේ සංවේදීත්වය, ඔහු ගේ බහු ජනතාව ඇමැතීමේ ගුණය හා ඔහු ගේ අනන්‍යතාව කුමාරගම ගේ කවි ඔහු ගේ සමකාලීනයන් ගේ කවි අතරින් වඩාත් ඉහළ තලයකට එසැවීමට හේතු ලෙස මේ උපුටනයන් ගෙන් පැහැදිලි වේ.
 මේ අතුරින් මහාචාර්ය දනන්සූරිය ගේ නිගමනය කුමාරගම ගේ කවි හඳුනා ගැනීමට කිසියම් එළියක් විහිදුව ද, අනෙක් නිගමන එපමණවත් අප සොයන කරුණ කරා ළංවන බවක් නොපෙනේ. මහාචාර්ය දනන්සූරිය ගේ නිගමනය වුව පරිපූර්ණ වීමට නම් තවත් එහාට ඒ ගැන විමැසීමක් කළ යුතු යි.
සැබෑ කවියකු අතින් නිර්මාණයක් බිහි වන්නේ කරුණු තුනක් එක්තැන් වීමෙනි. එනම් අවට සත්තාව නිරීක්ෂණය, එය අත්විඳීම හා එකී අත්විඳීම ප‍්‍රකාශනය යන මේ කරුණු තුන යි. හුදු නිරීක්ෂණය හා එය එලෙස ම ප‍්‍රකාශනයෙන් කාව්‍ය නිර්මාණයක් බිහිවන්නේ නැත.
 ඒ මධ්‍යයට එය නිරීක්ෂණය කළ දෑ ඉතාමත් තීව‍්‍ර ලෙස, ඉතාමත් සියුම් ලෙස අත්විඳීමක් - ආත්මගතවීමක් සිදුවිය යුතු ය. ඉංගී‍්‍රසියෙන් මේ කරුණු ම - Perception of the objective reality, experiencing it intensely, Expressing what was experiencedයැයි කිය හැකි යි.
මේ කරුණ වඩාත් පැහැදිලි කිරීමට එක් සරල උදාහරණයක් ගත හැකි යි. කුමාරගම ගේ හද බැඳි විෂය භූමිය වූයේ වන්නිය යි. මෙය කුමාරගම ගැන කතා කරන හැම දෙන ම දන්නා කරුණකි. වන්නියේ නියඟ ඔහුට තදින් බලපා ඇති වේදයිතයකි.
කුමාරගම හා කාලගුණ විද්‍යාඥයකු මේ නියඟය නිරීක්ෂණය කරනවා යැයි සිතමු. මෙහි දී දෙදෙන ම දකින බාහිර ලක්ෂණ එක ම ය. ඒ නිසා ඔවුන් කරන නිරීක්ෂණය ද එක ම ය. ගිනි ගහන අව්ව, වියැළි කටුක සුළඟ, දැවී ගිය තුරු ලතා, සිඳුණු වැව් පත්ල, පැළි මඩ, දිය නොමැති වැව් පත්ල, පණ ගහන කුඩමසුන් වැනි දේ මේ නිරීක්ෂණයට හසුවෙයි.
එහෙත් කාලගුණ විද්‍යාඥයා මේ හැමට අර්ථ දෙන්නේ ඊසාන දිග මෝසම සකී‍්‍රය නොවීමෙන් සිදුවුණු ස්වභාවික සිද්ධියක් ලෙස යි. එය බුද්ධියට, තර්කයට ගැළපෙන නිරීක්ෂණයකි. එහෙත් විමලරත්න කුමාරගම කවියා එය ප‍්‍රකාශ කරන්නේ කෙසේ ද?

අව්වට මැරි කුඩමස්සන්             වේලෙනවා
දිය කලතමින් කණ කොක් රැළ   පොරකනවා
අලි බෙටි හරක් බෙටි වතුරට       දියවෙනවා
අලියා වැටුණු වැව මේ වැව් දිය     බොනවා


සෙවණැලි පවා මැලි ගතියෙන් පොළවමත
වැතිරී තිබේ අද ගී අමතකව          ඇත
ඉදිරිය අවට මිරිඟුව ඇත වසා       නෙත
ඉදලක් සැලෙන තරමට සුළඟකුදු     නැත

(ගමේ වැව)

කවියාගේ මේ ඉන්ද්‍රිය රූපක බස උත්පාදනය කරන ගර්භය වන්නේ මේ සංසිද්ධිය ඔහු තමා විඳි අත්දැකීමක් බවට පත් කර ගැනීම යි. ඒ වින්දනය වූ කලී කවියා ගේ හදවතේ චිත්තවේග (emotions)  හා ඔහුගේ බුද්ධියේ තීක්ෂ්ණ බවත් (Intellectual intensity)එක් ව නිපදවන හැඟීම් (Feelings) සමුදායකි. එකී අත්විඳීමෙහි ම ඇතුළු හඬගෑමෙනුයි මේ ඉන්ද්‍රිය රූප බස ජනිත වන්නේ.
ඒ දෙවදෑරුම් කි‍්‍රයාමාර්ගය එනම්, අත්විඳීම හා ප‍්‍රකාශනය යන දෙක එකක් නිසා උපන් අනෙකකි. ජේම්ස් ජොයිස් නම් ප‍්‍රබන්ධකරුවා සිය Portrait of the artist as a young man නම් කෘතියේ මේ අවියෝජනීය සම්බන්ධය විස්තර කරන්නේ මෙසේ යි.
 “කවියා සිය ප‍්‍රකාශනය කරන්නේ එය පරතෙර මිනිය නොහැකි අවකාශය හා කාලය නමැති යටි තලයෙහි තබා ය. ඔහු ගේ එකී ප‍්‍රකාශනය තුළ සාකල්‍ය බව(Integrity)අනුරූපීතාව (Consonance) හා නිරාකූල බව (Clarity) යන මේ අංක එක්වීමෙන් එහි සුන්දරත්වය මතුවෙයි. එකී සුන්දරත්වය ඉපැදෙන මොහොතේ කවියා ගේ සිත් සතන් දිදුලන සෞන්දර්යාත්මක ප‍්‍රහර්ෂයකින් ප‍්‍රබෝධවත් වේ.”
සාකල්‍ය බව, අනුරූපීතාව හා නිරාකූල බව යන මේ ගුණ තුනෙන් යුතු සුන්දරත්වය මතුවන්නේ කවියා නිරීක්ෂණය කරන ප‍්‍රස්තුතයට සකල ආත්මයෙන් ම ප‍්‍රවිශ්ට වීමෙන් පමණි. කවියා සෞන්දර්යාත්මක ප‍්‍රහර්ෂයකින් ප‍්‍රමුදිත වන්නේත් ඒ මොහොතේ යි.
අර්නස්ට් හෙමින්ග්වේ ගේ නිර්මාණ රීතියේ ප‍්‍රධාන ලක්ෂණ හකුළුවා දක්වන කාලෝස් බාකර් නම් විවේචකයා ඔහු ගේ කෘතීන් විශිෂ්ටත්වයට පත් වූයේ ඒවායේ ස්ථානය පිළිබඳ අවබෝධය (The sense of place)තථ්‍ය කරුණු පිළිබඳ අවබෝධය (The sense of fact) සහ සමස්ත වාතාවරණය පිළිබඳ අවබෝධය (The sense of scene)තුබූ නිසා බව පෙන්වා දෙයි. මේ ති‍්‍රවිධ ප‍්‍රභේද ම කිසියම් සංසිද්ධියක් කෙරෙහි ආත්මයෙන් ම ළංවී එය අත්විඳීමේ අංග යි.
විමලරත්න කුමාරගමයන් ගේ කාව්‍ය ගුණයෙන් පිරි කාව්‍යයන් ඒ උත්තම තලයට එසැවෙන්නේ අන් කිසිවක් නිසා නො ව, එලෙස අත්දැකීම් ලැබීම හා ඒ අත්දැකීම් ලැබීමේ තීව‍්‍ර බව නිසා ම එකී අත්දැකීම් ප‍්‍රකාශයට උචිත ඉන්ද්‍රිය රූපී බසක් සකස් කර ගැනීම නිසයි. වන්නිය පාදක කරගෙන ඔහු ලියූ කාව්‍යයන්හි ඉහතින් සඳහන් සෑම ලක්ෂණයක් ම ගැබ් වී පවතී.
කුමාරගමයන්ගේ කාව්‍ය ප‍්‍රයාණය විවිධ විචාරකයෝ ඒ ඒ අවධිවලට වෙන් කරති. ඔහු ගේ එකතු කළ කාව්‍ය සංග‍්‍රහයේ සංස්කාරකවරු එය,
* නිල් සීනය හා ගතානුගතික අවදිය (1935 - 1946)
* වන්නියේ විත්ති හා විචාර යථාර්ථවාදී අවදිය (1947 - 1948)
* තනිකම හා ඇතුළු ලොවේ අවදිය (1949 - 1961)
* දිනපොත හා සර්වයක් දිනූ අවදිය (1962)
යනුවෙන් අවධි 4 කට බෙදති.
එහෙත් ඔහු ගේ නිර්මාණ චාරිකාව බෙදිය හැක්කේ ප‍්‍රධාන අවධි දෙකකට යැයි මට සිතේ. එනම් ඔහු ගේ අපරිණත කවි අවධිය හා පරිණත කවි අවධිය යනුවෙනි. ඔහු කවි ලිවීම අරඹන්නේ 1935 දී ය.
 ඒ “සංවේග දර්ශන” නම් ඔහු ලියූ ප‍්‍රථම දීර්ඝ කවි පන්තියෙනි. 1941 ඔහු පුත්තලමේ ආනමඩුවට යනතෙක් වූ සය අවුරුදු කාලය ඔහු ගේ අපරිණත කාව්‍ය අවධිය විය. අනුකාරක අවධිය විය. අත්හදා බැලීම් කළ අවධිය විය. රත්න ශී‍්‍ර විජේසිංහ කවියා විමලරත්න කුමාරගම නැවත කියැවීම යන ලිපියේ ඔහු ගේ කවිය සය වසක් වැනි කෙටි කලකින් වින්දනාත්මක ගැඹුරකින් ද, දාර්ශනික ආලේපයකින් යුතු ව ද, ප‍්‍රකාශන මාධූර්යයෙන් යුතු ව ද පරිණත වන බව පෙන්වා දෙයි.
මේ පරිණත වීමේ රහස වනුයේ එතෙක් තමා කවි ලියූ අවධියේ විසූ දැවැන්තයන් ගේ සෙවණැල්ලෙන් ඔහු ඉවත් වීම යි. වන්නියේ ජීවන කි‍්‍රයාවලියට ළං වී ඒ අත්විඳීම කෙරෙන් තමන් ගේ ම කේවල හඬ (Individual Voice)තෝරා බේරා ගැනීම යි.
කොළඹ යුගයේ ප‍්‍රධාන කවීන් ගේ රචනාවල ඇතැ යි බොහෝ විචාරකයන් පෙන්වා දෙන ඒවායේ එන අත්දැකීම්වල නොගැඹුරු බොළඳ බව, මතුපිට නිරීක්ෂණය, භාවික ගුණයෙන් තොර බරවා කකුල් වැනි සලසලං බස් වහර, නිගමනාත්මක අර්ථකථන දීම විමලරත්න කුමාරගමයන් ගේ ද මුල් කාව්‍ය රචනාවල පෙනෙන ලක්ෂණයන් ය.
 ඔහු ගේ මුල් කාව්‍ය රචනාව වන සංවේග දර්ශන, සංවේග වේදනා, සොහොනක් මත, පෙම් තරඟ, හපුමලී වැනි රචනා විභාග කරන්නකුට මේ කරුණ පැහැදිලි වෙයි.
එහෙත් වැදගත් කරුණ මෙය නො වෙයි. කුමාරගමයන් ගේ මෙන් ම ඔහු ගේ සමකාලීන කවීන් ගේ රචනා මෙවැනි අපරිණත ලක්ෂණ උසුලන්නේ මන්දැ යි සොයා බැලීම යි. එයට ප‍්‍රධාන හේතුව ලෙස දැක්විය හැක්කේ මේ සෑම කවියකු ම පාහේ සිය කාව්‍ය ප‍්‍රස්තුතය තමන් ඇතුළතින් විඳි අත්දැකීමක් කර නොගැනීම යි.
 ඔවුන් ගේ නිරීක්ෂණ බාහිර ව සිටගෙන කරන ඒවා වීම යි. ඒ නිරීක්ෂණයන් මනැසේ උපන් මනස් පුතුන් මිස මනසත්, හදවතත් අතර වන සහවාසයෙන් මතුවන සුජාත දරුවන් නොවීම යි. යම් ප‍්‍රස්තුතයක සාමාන්‍ය මිස සුවිශේෂය ඒවායින් ඉදිරිපත් නොවීම යි. මේ පිළිබඳ එක් උදාහරණයක් ගතහොත් පී.බී. අල්විස් පෙරේරා කවියා ගේ ගොවි පැලක් යන කවි පෙළ පෙන්වා දිය හැකි ය.
පන්සල් බඳින උදවිය ඇත ළඟ       පහළ
එනමුදු අහෝ! මේ පැල පොදියකි     කහළ
දුම් බැඳි මකුළු දැල් බැඳි සුඹුළුය     ඉහළ
ඇස් වට්ටියක් වාගෙයි පොල් අතු     වහළ


ලනු සෝපාව මේසය සහ පුටු              බාගේ
සෙලවෙති ලොඹු කටක දත් දෙක තුන     වාගේ


මේ පද්‍යය පිළිබඳව මාර්ටින් වික‍්‍රමසිංහ මහතා ස්වකීය නව පද්‍ය සිංහලය නම් විචාර ග‍්‍රන්ථයේ මෙසේ පවසයි. “මේ පද්‍යයෙන් හා පද්‍ය පාදයන්ගෙන් වර්ණනා වන්නේ ගොවියා ගේ දිළිඳුකමට වැඩි දැඩි කම්මැලිකමයි.
 ගේ තුළත් ඒ අසලත් කහළ ගොඩ, දුම් බැඳි මකුළු දැල් සහිත වහල, නැළි ගණන් පත්තෑයන් ඇති පැදුරු ආන, ගොවි පවුලෙහි සියලු දෙනගේ ම කම්මැලිකම ද හඳුන්වයි. ඒ පද්‍යාවලියෙන් දොස් නැඟෙන්නේ ආණ්ඩුව, මුදලාලි, නිලමෙ, මුලාදෑනියා, ගම්සභා නඩුකාරයා යන මොවුන්ටයි. ඒ පද්‍යය පාඨකයා තුළ දයානුකම්පාවක් නූපදවයි.”
මාර්ටින් වික‍්‍රමසිංහයන් පෙන්වා දෙන පරිදි මේ කවිය හුදු නිරීක්ෂණයක් පමණි. ඒ නිරීක්ෂණය ඇසුරෙහි පැලෙහි වසන්නා ගේ අධ්‍යාත්මය පිළිබිඹු නො වේ. එසේ ම ඒ තැනැත්තා ගේ හෝ තැනැත්තන් ගේ සුවිශේෂත්වය නොකියැවේ. මේ අවධියේ කුමාරගම ලියූ සංවේග වේදනා කවි පෙළෙන් ගත් පහත සඳහන් කවි දෙක ඒ ලක්ෂණ ම උසුලන බව පෙන්වා දිය හැකි යි.
ඇස රතු කොටින් කර හද සියන කම්            පිත
දෙස සග ගියෙන් නොහැඳින අපගෙ පෙම්      සිත
යස රන් මැණික පියනඟ මෙ මගෙ සම්          පත
අසරණ තැනෙකි අද ඔබ හිටිය පැල්            පත


මනසට නඟා ගෙන ඔබ රුව ලෙස            පෙරැදී
සිත යම් කරත හොත් සිරි සරසවි               පරදී
සිහි වී ඔබගෙ ගුණ කඳ හදවත                සුරැඳී
රැස් මඬලෙකින් හිස සැරසුව වෙද            වැරැදී


එහෙත් කුමාරගම ගේ අතින් ඔහු ගේ පරිණත කවි සමයේ ලියැවුණු ආගන්තුක සත්කාරය, හේරත් හාමි, ආරච්චිරාළ, වන්නියේ දොස්තර, දිග හතළිහ වැනි කවිවල ඉන් කියැවෙන ගැමියන් ගේ ආභ්‍යන්තරික මනුෂ්‍ය ස්වභාවය සිය කවියෙන් ග‍්‍රහණය කරන ආකාරය කෙතරම් නම් වෙනස් ද?

දර ටික තබා සෙවණැති පළු ගසක    යට
පිස දම දමා දාඩිය එන නළල         පිට
මා එනතුරුම සිට පෙන්වූ සිනහ        කට
තවමත් පෙනේ දුක් දොම්නස් අතර    මට

(ආගන්තුක සත්කාරය)

සුන්දර හාමි නම් අව්‍යාජ ගැමියා පිළිබඳ සැබෑ චිත‍්‍රයක් මැවෙන හැටි මින් පෙනෙන්නේ නො වේ ද?
කුමාරගම ඇතුළු සැබෑ කවීන් සතු මේ සුවිශේෂී ගුණය මහාචාර්ය ජිනදාස දනන්සූරිය සිය “කලාත්මක පරිකල්පනය” නමැති ශාස්තී‍්‍රය ලිපි එකතුවෙහි මෙසේ ඉතා පැහැදිලි ව කදිමට ඉදිරිපත් කර ඇත.
 “සාරවත්, ප‍්‍රත්‍යක්ෂ අත්දැකීමක්, ඉන්ද්‍රියයන්ගෙන් වින්දනාත්මකව ග‍්‍රහණය කර ගැනීමෙන් තොරව, කලාත්මක ගුණයෙන් හෙබි පද්‍ය කාව්‍යයක් නිර්මාණය කළ නොහැකිය. සාමාන්‍යකරණය, රළු පරළු සන්නිවේදන විධියක් බවට පත්වීම බොහෝ විට සිදුවන්නකි.
සාමාන්‍යකරණයට ගෝචර වන්නේ සමාජයේ මතුපිට තලයයි, දෘශ්‍ය මානයයි. දෘශ්‍යමාන පටලය විනිවිද දැකීම සඳහා කලාකරුවා, කවියා සුවිශේෂය හරහා සාමාන්‍ය ග‍්‍රහණය කොට, ප‍්‍රතිනිර්මාණය කිරීමේ භාවිතයක නිරත වෙයි. කවියෙක් ඒ සඳහා ස්වකීය පරිකල්පන ශක්තිය උච්චතර මට්ටමින් උපයෝගී කොට ගනී.” (126 පිටුව)
ඉහත සඳහන් නිගමනයට අනුපූරකයක් වශයෙන් එක් කළ හැක්කේ කවියා ගේ, නිර්මාණකරුවාගේ කේවල හඬ මතුවන්නේ ද එවැනි විටක පමණි යන්න යි.
කුමාරගමයන් ගේ මේ පරිණත කවි බවේ විපුල ඵල අප දකින්නේ බොහෝ විචාරකයන් පවසන පරිදි ඔහු ලියූ වන්නිය ආශි‍්‍රත කවිවල ය. වන්නිය සැබැවින් ම කුමාරගමයන්ට මුළුමහත් මිනිස් දිවිය ම විදහා දැක්වූ ජීවරසායනාගාරයක් බඳු විය.
එහි සොඳුරු බව, අඳුරු බව, මිතුරු බව, පස මිතුරු බව, දුෂ්ට බව, ශිෂ්ට බව, සමීප බව, දුරස්ත බව, සුසිරිත, දුසිරිත, පීඩනය හා සුබ වේදයිතය යන මේ සෑම සාන්ද්‍රණයක් ම ඔහු ගේ මේ රසායනාගාරය තුළ තිබිණි. ජීවිතය පිළිබඳ මේ සියලු පැතිකඩ ඔහු මෙවක ලියූ කවිවලින් ස්පර්ශ කරයි. වන්නියේ ජීවී අජීවී වස්තු හා මිනිස් නොමිනිස් චරිත තුළ ඔහු මුළු මහත් විශ්වය ම දකී.
මෙහි දී ඩාන්ටේ නම් මහා කවියා ගේ ඩිවයින් කොමඩි(Divine Comedi)නම් කාව්‍යය සිහියට නැඟේ. ඩාන්ටේ සිය පෙම්වතිය වන බියටි‍්‍රස් සොයා අපායට ද, අපාය හා සුරලොව අතර ඇති ගන්ධබ්බ දේශයට ද, අනතුරු ව සුරලොවට ද ගමන් කරයි.
ඒ අතරවාරයේ මේ තුන් ලොවේ ම ඔහු දකින දාමරිකයන්, හොරුන්, ස්තී‍්‍ර දූෂකයන්, මිථ්‍යා දෘෂ්ටිකයන් මෙන් ම සිල්වතුන්, පණ්ඩිතයන්, දාර්ශනිකයන් සහ සාන්තුවරයන් ද සිය කාව්‍යයන් ගේ ප‍්‍රස්තුත ලෙස ගනී. එමෙන් ම මේ තුන් ලොවේ ම ඇති පියකරු මෙන් ම අපියකරු දර්ශන ද ඔහු ගේ කාව්‍යයට නිමිති වෙයි. විමලරත්න කුමාරගම කවියා මේ තුන් ලොව ම දකින්නේ වන්නිකරේ යි. ඔහු ගේ ඩිවයින් කොමඩිය වන්නිය යි.
පරිණත කවියකු ගේ කාව්‍ය ව්‍යාපාරය තුළ මිනිස් බවේ ඇති මේ ප‍්‍රතිවිරෝධාත්මක දෘෂ්ටි ධාරා අඩංගු විය යුතු ය. කවියා කිසියම් එක් දෘෂ්ටියක් පමණක් හිසින් ගෙන එයට අනුගත වන ආකාරයට පද ගොනු කළොත් එතැන සිටින්නේ තම දෘෂ්ටිය දැක්කීමට බණ කියන දේශනාකාරයකු මිස කවියෙක් නො වේ.
ආගන්තුක සත්කාරය, කවුද ගෙදර, නීරා මළා, වන්නියේ දොස්තර, ගජබාහු, දිග හතළිහ, වන්නියේ සැඳෑව, වන්නියේ මල්, ආරච්චිරාළ, හේරත් හාමි, කැටවල, කිරා, අයියනායක, සිරගෙය, ගමේ වැව, අව්වට මැරි කුඩමස්සන් කුණු වෙනවා වැනි කවි පෙළවල් මේ කරුණට උදාහරණ වශයෙන් දැක්විය හැකි යි.
ඔහු වන්නිය පදනම් කරගෙන ගෙතූ කවි පුළුල් වශයෙන්,
1. වන්නියේ කටුක හා සොඳුරු පරිසරය.
2. වන්නියේ මිනිස් ජීවිත.
3. වන්නියේ සත්ත්ව ජීවිත යනුවෙන් බෙදා දැක්විය හැකි යි.
දිග හතළිහ යන කවි පෙළ ආරච්චිරාළ, සුන්දර හාමි වැනි කවි පෙළවල් තරම් කතාබහට ලක් නොවුණු කවි පෙළකි. ඉන් කියැවෙන්නේ අතින් අතට ගොස් පිරිමින් බොහෝ දෙනකු ගේ උණුසුම සොයන වන්නියේ ලියක් ගැන යි.
සාම්ප‍්‍රදායික සදාචාර කෝදුවෙන් මැන්නොත් මැය දුරාචාරයේ ගැලෙන්නියකි. එහෙත් කුමාරගම ඇය දෙස බලන්නේ එවැනි බමුණු දෘෂ්ටියකින් නො වේ. මිනිස්කම ගැඹුරින් වටහා ගත් ප‍්‍රඥාංකුරයකු වශයෙනි. ඔහු ගේ ස්වරයෙහි කිසියම් කෙළිලොල්, උත්ප‍්‍රාසාත්මක හඬක් දැවටී තිබුණත් එය නිග‍්‍රහාත්මක කිනිසි හඬක් නො වේ. අවබෝධාත්මක ඔච්චම් හඬකි.
තෙත රෙදි තුරුල්ලක් ගෙන වැව් තලා    පිට
හමු වෙයි සමඟ මැල්ලුම හෝ පළා        මිට
සැබවක් කියමි යන මඟ බල බලා         සිට
වැස්සක් වගෙයි මෑ වන්නිය           පළාතට

සුවඳී නම් වූ ඇය කවියා සබයට ගෙනෙන්නේ මේ කවියෙනි. “වැස්සක් වගෙයි ඈ වන්නිය පළාතට” මහත් අරුත් ගෙන දෙන කවි පාදයකි. මේ දිගැසිය පිළිබඳ වචන දහසකින් කිය නොහැකි දේ ඉන් කියැවේ. වන්නියේ කර්කෂ නියඟ හා සමපාත කළ විට මේකියන “වැස්ස” මොන තරම් නම් තෙත් ගුණය, නැවුම් බව, මුදු බව සමඟ කිසියම් කසිලි බිසිලි බවක් ද ධ්වනිත කරයි. කවියා වුව ද ඇය යන මඟ බලා ඉන්නේ මත්වී ය.
කොට්ටෝරුවෙකුගේ පැහැයක් තොලින්   මවා
කඩමංඩියට එයි ලැසි ගමනකින්           හවා
පුද පෙළහර පවත්වන රසවතුන්           ලවා
සුවඳී ගැන දනී ගෝනුන් මුවන්             පවා


නව තණ සොයා කෑමට යන දෙනක       නියා
සුරතල් සිනා පෙන්වා මුව මඬල            අයා
වන්නිය සිරිත ලෙස දීගෙක රසය        සොයා
අවුරුදු පහක් තුළ විසි හය පලක          ගියා

වික්ටෝරියා කුල දහම් රැකි ඉහළ මධ්‍යම පාන්තිකයන් ගේ සාටෝප සුචරිතය ස්වභාව ධර්මය සමඟ සමීප ව දිවි ගෙවන නිර්ව්‍යාජ ගැමියාට හා ගැමි ගැහැනුනට නැත. ඔවුහු කැලේ හැදෙන මුවන්, මුව දෙනන් පරිද්දෙන් ‘නව තණ’ කෑමට පි‍්‍රය කරති.
සහජාශාවනට ඉඩ දෙති. එහි ගැලෙති. තුටු වෙති. ඒ පිළිබඳ ව පශ්චාත්තාප නො වෙති. වර්ඩ්ස්වර්ත් කවියා ගේ ක්රේසි ජේන් (Crazy Jane) නමැති කවි පෙළ සිහියට නඟන මේ කවි පෙළ කුමාරගම වන්නියේ එක්තරා අන්දමක ජීවිත ප‍්‍රදේශයක් ස්පර්ශ කරන තවත් විද්ධ චිත‍්‍රයකි.
වන්නිය හැමවිට ම වියැළි නැත. ලෙඩ කර සුළඟ ද හැමවිට ම නැත. ස්වභාව දහමේ රුදු පහරින් එහි ජනතාව හැමවිට ම පරිපීඩිත ව මුකුලිත වන්නේ ද නැත. ඉඳහිටවත් තෙමා හැළෙන වැස්සෙන් වන්නිය ප‍්‍රාණවත් වෙයි.
වන්නියේ ශෝකී පක්ෂය දෙස කුමාරගම තම කවි ඇස වඩාලාත් යොමු කළ බව සැබෑ ය. එහෙත් කුමාරගම වන්නියේ මල් වන්නියේ සැඳෑව වැනි කවි පෙළවලින් මේ සොඳුරු බව විචිත‍්‍රවත් ව අප වෙත ගෙන එයි.
හිරු රැස් විඩාවෙන් පීඩිත කෙසෙල්       වතු
සනසා පවන නළවයි දළු රිකිලි           අතු
මළහිරු කිරණ සිප ගෑවුණු පරිදි          ලතු
රන්වන් වුණා පලු ගස්වල මහලු         පොතු


මඟ අස මලාමැලි යුතු තැනිතලා           වල
තණ ගොබ සමඟ පොරකයි නවතලා     පැළ
කේතකි පඳුරු අතරින් නැඟ සළා         ගෙළ
ඇය දෙස බලයි නිහඬව සුදු බලා        වැළ

(වන්නියේ සැන්දෑව)

පියකරු සිහිල් නිදහස් මුදු නිසල         සුවේ
මානෙල් නෙළුම් ඔළු හිනැහෙන විටදි   වැවේ
දිය මත උමතු කර මායා සිහින          මැවේ
කවියා ගොළුව වැවදිය මෙන් වැවෙහි  වැවේ

(වන්නියේ මල්)
වියළි කලාපයේ පවතින රූක්‍ෂ නිර්මලත්වය මේ කවි පාදවලින් ගම්‍ය වේ. හිරු රැස - විඩාව - මළ හිරු කිරණ, මහලු පොතු සමඟ ම මතුවන තණ ගොබ, නවතලා, සිහිල, නිදහස, සුදෝ සුදු බලා වැළ එක්තැන් කරන විට මේ හැඟීම් රසික සන්තානයේ ඉපැදෙන්නේ අපට දැනී නොදැනී වගේ.
කුමාරගම තරම් වන සතුන් තම කවිවල කතානායකයන් කරගත් වෙන අන් කවියකු කොළඹ යුගයෙහි පමණක් නො ව සමස්ත සිංහල කාව්‍යාවලියේ ම නැති තරම්. ඔහු ගේ ලෝකය ගජබාහු වැනි අලි පොව්වන්, ඉත්තෑවන්, වළසුන්, නීරා වැනි සුනඛයන්, කිරා වැනි මුව පොව්වන් ගෙන් ගහණ ය. ඔහු ගේ සත්ත්ව ලෝකයේ ද මිනිස් වර්ගයා සතු දැහැමි අදැහැමිකම්, දඟකාරකම්, සැහැසිකම් මෙන් ම ළෙන්ගතුකම් ද ඔහු දකී.
 ඇත්තෙන් ම රත්න ශී‍්‍ර විජේසිංහයන් විමලරත්න කුමාරගම පිළිබඳ ව ලියූ ඉහත සඳහන් කළ ලිපියේ සඳහන් කළ පරිදි ඔහු සත්ත්ව ලෝකය දකින්නේ ද මිනිස් ජීවිතයේ ම පරාරෝපයක් ලෙසිනි. මිනිසා සහ සතා අතර වන ආදර ක්‍රෝධ සම්බන්ධය මෙන් ම සතා සහ සතා අතර එවැනි සම්බන්ධයකට ඉව අල්ලන ඔහු ලෝකය තනි රේඛීය සංසිද්ධියක් නොවන බව ඉඟි කරයි.
කුමාරගම ගේ කවි බස ඔහුගේ කේවල හඬෙහි ම අභින්න ප‍්‍රතිඵලයකි. එහි බැලූ බැල්මට ඇත්තේ අනායාසකර සරල බවකි. සෙවි බස ද කටවහරේ බස ද මුසු කොට තනාගත් මේ බසෙහි රසිකයාට එක්වර ම පෙනෙන අනායාසකර ගුණය මුළාවකි.
එය කවියා විසින් නිරන්තර අභ්‍යාසයකින් වෙහෙස මහන්සියකින් හා අත්හදා බැලීමකින් ද තනා වඩා ගත්තකි. එළිසමය හා ඡන්දස තම කවිවල ආකෘතිය ලෙස ගත්ත ද ඔහු එය දෘඪ අච්චුවක් කර ගත්තේ නැත. චීන කටු චිත‍්‍රයක ලාවට ඇඳුණු පසුබිමක් වගෙයි ඔහුට එළිසමය හා ඡන්දස.
ඈ කුඩයි
රූ බරයි

                 ඒ වුනත් ළිඳ බලා
දිය පිණිස
නාමලී
                එනු දුටිමි ø වෙලා

ඇගේ වයස දහතුනකට වැඩිය       නැත
අවිහිංසකත්වය පිදී මුහුණ            මත
බඹරුන් කැරකුණේ ඇයි ඈ යනෙන   අත
මල් බර වසන්තය තව ඉදිරියට       ඇත


ඈ කුඩයි
රූ බරයි
            ඒ වුනත් ළිඳ බලා
දිය පිණිස
නාමලී
            එනු දුටිමු ø වෙලා
ළිඳ ළඟම
පොළඟකුගෙ
           දළවලින් විස ගලා
ඈ මළා
මල මළා
           පොළොන් තඩිය ද මළා
(නාමලී)
මෙවැනි නිර්භය අත්හදා බැලීම් දෙස බලන විට ඔහු තව කලක් ජීවත් ව සිට කවි ලියුවා නම් සමහරවිට එළිසමය අතැර නිදහස් කවි ද ඔහු අතින් ලියැවෙන්නට තිබිණ යි සිතෙන්නේ නිදහස් කවි ලියන ගොඩට දාගන්නට නම් නො වේ. කුමාරගමයන් ගේ එළිසමය සහ සඳැස සමඟ කරන මේ පෙ‍්‍ර්මාවනද්ධ අරගලය දෙස බලන කල සම්භාවිතා න්‍යාය අනුව එය විය හැක්කකැ යි සිතෙන බැවිනි.
ඔහු ගේ බොහෝ කවි නා නා ධ්වනි නඟන ඉන්ද්‍රිය රූපයන් ගෙන් පොහොසත් ය. ඉන්ද්‍රීය රූප යනු ඉංග‍්‍රීසියෙන් ඉමේජරි (Imagery)  යයි විස්තර කරන කාව්‍යෝපක‍්‍රමය යි.
“ගිනියම් සුළඟ තුළ ඇත ලෙඩකර බලය”
“වැව් දිය ඇල් මැරී මසු අතර කැළඹිලි”
“රන්වන් වුණා පළු ගස්වල මහලු පොතු”
“වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත”
“ඈ දිව ගියා මා හදවත මිදුල දිගේ”
“සෙවණැලි අවදි නොමවන වැව් ඉවුරු කොණේ”
“දුන්නත් පැහැය කළු නයෙකුගෙ දිරුණ හැවේ”
“ඉදලක් සැලෙන තරමට සුළඟකුදු නැත”

මේ එවැනි උදාහරණ කීපයකි. මහාචාර්ය දනන්සූරිය කුමාරගම පිළිබඳ ව සැපැයූ ඉහත සඳහන් ලිපියෙහි මේ කරුණ පැහැදිලි ව පෙන්වා දෙයි. ඔහු එහි දී ප‍්‍රකාශ කරන එක් කරුණක් ඉතා වැදගත් ය. කුමාරගම ගේ අනෙක් කවි සගයන් ගේ කවිවල කාව්‍යෝපක‍්‍රමයක් වශයෙන් බහුල ව යෙදෙන්නේ උපමා ය. එහෙත් කුමාරගම එය වෙනුවට බහුල වශයෙන් ඉන්ද්‍රීය රූප යොදා ගන්නා බව දනන්සූරිය මහතා පැහැදිලි කරයි.
කුමාරගමයන් ගේ කවිවල වින්දනයට බාධා පමුණුවන ප‍්‍රධාන අඩුපාඩුවක් වන්නේ ඔහු සමහර අවස්ථාවක කවියට ම කතා කරන්නට ඉඩ නො දී, තමා ඒ මැදට පැන නිගමන දීමට යෑම යි. කුමාරගමයන් කවි ලියූ අවධිය රොමෑන්ටික් කවියේ ආනුභාවය වැටී තිබුණු අවධියක් බව අප මෙහි දී අමතක නොකළ යුතු ය.
රොමෑන්ටික් යුගයේ කවි පැබැඳූ වර්ඩ්ස්වර්ත්, කෝර්රිප්, ෂෙලී, කීට්ස්, ටෙනිසන් හා තාගෝර් කවියෝ ද මේ දෝෂයෙන් මිදුණෝ නො වෙති. නව කවිය රොමෑන්ටික් කවියෙන් වෙනස් වන ප‍්‍රධාන මුහුණුවරක් වනුයේ මේ නිගමනාත්මක අදහස් දීමෙන් ඉවත්වීම යි. කෙසේ වුව ද කුමාරගමයන් ගේ සමකාලීන කවියන් හා සාපේක්ෂව ගත් විට ඔහු අතින් මේ දෝෂය සිදු වන්නේ කලාතුරකන් බව ද මෙහිලා කිය යුතු යි.
කුමාරගමයන් ඹ්වත් වූයේ ටික කලකි. ඔහු ලියුවේ ද ටිකකි. එහෙත් ඒ ටිකෙන් ඔහු බොහෝ දේ කීවේ ය. රුසියානු නිර්මාණකරු ඇත්තන් චෙකොෆ් ද ඒ වගෙයි. ඔහු සිටියේ ද අවුරුදු 41 යි. ඔහු ලියුවේ ද කෙටිකතා යි. එහෙත් ඒ කෙටිකතාවලින් ඔහු බොහෝ දිගු දේ කීවේ ය. ඒ නිසා ඇත්තන් චෙකොෆ් පිළිබඳ ව මා ලියූ කවක මේ පාද කීපය විමලරත්න කුමාරගමයන්ට ද ගැළැපෙතියි මම සිතමි.
“ඇයි පුංචි කුරුල්ලෝ
ඔබ කෙටි ගීත ම ගයන්නේ”
“මගේ ජීවිතය කෙටි නිසා
මට හුඟාක් දේවල් කීමට තිබෙන නිසා”


                            ඔහු මහනුවර මාකොලදෙනිය වේරපිටිය පාසලේ මුලික අධ්‍යාපනය ලැබූ අතර පසු කාලීනව තෙල්දෙණිය ද්වි භාෂා විද්‍යාලයේ හා කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ අධ්‍යාපනය ලැබිය. ඔහු අවසාන වශයෙන් නුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර මැට්‍රිකුලේෂන් විභාගය විශිෂ්ඨ සමර්ථ සහිතව සමත් වූ අතර ,පාසැල කාලයේද සිංහල කවිය පිළිබද උනන්දුවක් දැක්වූ අතර කවි රචනයේද නියැළුණි.
 පොත්
  • නිල්සීනය (1941)
  • ඔරුව (1942)
  • සංවේග වේදනා (1946)
  • සපුමලී (1946)
  • සුරතල්ලු (1961)

කවි
  • හේරත් හාමිනේ
  • අයියනායක
  • දඩයම
  • වන්නියෙ මල්
  • ගමේ වැව
  • කිරා
  • ආරච්චි රාළ
  • සිරගෙය
  • යන්තම් බේරුනා
  • හරක් හොරා
  • බුදුරුව
  • සුන්දර හාමි
  • ආගන්තුක සත්කාරය
  • අවුරුදු නිවාඩුව
  • මුතුගේ ප්‍රශ්න
  • වන්නියෙ දොස්තර

උසස් රචනාවලින් සිංහල සාහිත්‍යය පෝෂණය කරනු ලැබූ බොහෝ කවියන් කොළඹ යුගයේ වූ බැව් නොරහසකි. ඒ අතරිනුත් එක්තරා පද්‍ය රචකයකු විශේෂත්වයට භාජනය වූයේ කරුණු කිහිපයක් නිසයි. ඒවා නම් මානව භක්තිය, අව්‍යාජත්වය, තොරොම්බල් ගණයේ නොවන අරුත් බර වචන මාලාවක් වේ.
සදහම් රුවන්වැල ලියූ ධර්මසේන හිමියන් සේ හෙතෙමේ සිංහල කවියට අත්‍යවශ්‍ය මානව භක්තියෙන් පිරිපුන් වූ අතර එහෙයින්මැ වන්නි සනුහරයට ලේ නෑයා ද වූයේ ය. මොහු අනෙකකු නොව කොළඹ යුගයේ සිංහල කාව්‍ය වංශයේ දීප්තිමත් රචකයකු වූ නාරම්පනාවේ විමලරත්න කුමාරගමයි.
”වනපෙත දැවෙන විට
වැද මළ හිරුගෙ රත
ගනඳුර වසන විට
ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී
සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක්
එතැන ඇත”
යන කවිය ඉමහත් විමසුමෙන් බලන විට ගැමි ජනතාවගේ දෙවියන් ඇදහීමට නොගැරහීමේ විශාල මානව භක්තියක් කවියා තුළ නොඅඩුව අඩංගු වූ බැව් මනාව ඔප්පු වනු නිසැකය. “හැමදා උදේ – හවසට බොන ගිනි වතුරයි – ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතුරයි” යනුවෙන් ඉතාම පහළ මධ්‍යම පාන්තික ශ්‍රමිකයකුගේ පපුව තුළට සැබෑවටම එබී බලා අදාළ මිනිස්කම හොඳාකාරව අවබෝධ කරගත් විමලරත්න කුමාරගමයෝ එමඟින් සහෘදයා කදිමට දැනුවත් කරලූහ.
එකල ද පැවැති වෙළෙඳ ඒකාධිකාරයක දැඩි බලපෑම නැති බැරි උදවියගේ පීඩනයට හේතුවන ආකාරය සිත්කලු ලෙස සමාජ ශෝධකයකු ලෙසින් මොහු දැක්වූ අන්දම මනහර වනු ඇත. “ඔහු වැඩිපුරම බය, ලොකු සයිබු නානට” යනුවෙන් පවසා ඉන්පසු දැක්වූයේ “නැඟගෙන හරක් හොරුගේ කර උඩට දැඩි – පස්සා කකුල් දෙක ඔහුගේ ගෙයට වඩී” කියලා ය.
විශේෂයෙන් කොළඹ යුගයේ ඇතැම් සුකිරි බටිලි කවිවලින් කුමාරගමගේ කවිත්වය වෙනස් වන්නේ යථාර්ථවාදිත්වය හේ ගරු සරු කළ නිසා බැව් පිළිගත යුතුව තිබේ. මෙකල බොහෝ කවියන්ගෙන් වර්ණනා වූයේම කාන්තාවගේ නිලුපුල් වන් තොල් පෙතිය; දේදුනුවන් ඇහි බැමිය. එය එසේ වුවද අප විශේෂිත කවියාට මෙනෙහි වූයේ ළඳකගේ රූප ලාවණ්‍යයට එහා ගිය යථාර්ථය තත්ත්වයකි. ඒ හේතුවෙනි, මේ ප්‍රතිභාපූර්ණ කවියා ස්ත්‍රිය මස් ලේ දන් දිදී ලෝකය රකින බවත් ඒ නිසාම ඇයට හිමිවිය යුතුව ඇත්තේ ආගමික නායකයන්ට පවා සුදුසු වන ආසනයක් බවත් ගෙනහැර දැක්වූයේ.
”මස් ලේ දන්දිදී මේ ලෝකය රකින
ලස්සනවතිය ඔබගේ සේවය පමණ
කළහොත් සමය නායකයන්ට ද වටින
අසුනකි ඔබට හිමි මල් සුවඳින් ගහණ”
ඔහු ඒ කවි පොත මඟින් ම මාතාවක් වන ඉතිරිය සම්බන්ධ ව මෙසේ ද විමසුවේ ඇයි?
”පුදසුන මතේ සිට අතු ගා දමන ලද
මල යා යුතුය විසුමට කුණු ගොඩක වැද”
එදා සිටම ඉටු සිදු වූ සමාජ අර්බුදයක් වන කාන්තා හිංසනය වෙත සහෘද ඇස යොමු කරවීමට නොවේදැයි කිවහොත් එය අසාධාරණ නොවේ යයි සිතමි.
සමහර කොළඹ කවියන් මෙන් නොව මේ ආදායම් පාලක නිලධාරි කවියා පැදියෙහි පරමරුත මොනවට අවබෝධකොටගෙන සිටියේ ය. ඔහුගේ වෙනස් ගමන් මඟට ඊට සාක්ෂි සපයනු ඇත. මෙතෙම තමාගේ එක්තරා මිත්‍රයකුගේ සැමරුම් පොතක මෙසේ ලියා තිබෙනු මම දුටුවෙමි.
”කවියේ පරමරුත දති නම් සහ විතර
බ කවි කෙළෙහි දුර දුක සහ නිවන්තර!”
යථෝක්ත කවියාගේ උදාරතර කිවියාව නිසාම ඔහු සිංහල කාව්‍ය වංශයේ ඉන්ද්‍රඛීලයක් පරිද්දෙන් අදත් නොනැසී මෙන් ඉඳී. මේ උසස් පද්‍ය නිබන්ධකයා විසින් කරන ලද්දේ කවිය මඟින් පාඨකයා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යාමට ය. එසේ නැතුව අද වැජඹෙන ඇතැම් අති උගතුන් මෙන් ප්‍රඥාවෙන් ප්‍රඥාවට රසකාමිය වැඩමවා ගෙන යාම නොවේ. මා සිතන අයුරු විය යුත්තේත් මෙහි කී පළමු ගැම්මයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.