ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, April 16, 2014

ප්‍රථම නවකතාව ලියූ ඒ. සයිමන් ද සිල්වා

ලාංකේය නවකතා කලාවෙහි ආරම්භක අවධිය අඳුරු සමයකි. නොඑසේ නම් හෙළ බසට අඳුරු කාලපරිච්ඡේදයකි. හෙළ බස කුඩම්මාගේ සැලකිලි ලැබූ ඒ මුල් අඳුරු අවධියේ දී සිය බස රැකගැනීමෙහිලා භාෂා බුද්ධිමත්හු, විද්වත්හු, භාෂාප්‍රේමීහු මහත් වැර වෑයමක යෙදුණහ. එපමණක් නොව එදා මවුබස කතාකිරීමට ද ලජ්ජාවක් සේ සැලකූ බටහිර ගැති උදවියගේ ද අඩුවක් නොවිණි.
මේ අතරේදී හෙළ බස රැකගැන්මේ නිරත පුරෝගාමීන් අතරේ පසුවූයේ නවමු අදිටනකින් හෙබි භාෂා ප්‍රේමියෙකි. හෙතෙම සිය පන්හිඳ සමඟින් නවමු පියවරක් ඉදිරියට තැබුවේ ය. එම පියවරින් ලාංකේය නවකතා ලෝකයේ ප්‍රථම නවකතාව බිහිවූයේ ඔහු අතිනි. සැබැවින්ම තමන් ජීවත් වූ යුගයේ දී ඉදිරියෙන්ම සිටි හෙතෙම ප්‍රබන්ධ ලේඛනයට ද පණ පෙවීය.

ඔහු අලුත්ගමගේ සයිමන් ද සිල්වාණන් ය. ප්‍රථම සිංහල නවකතාවේ කතුවරයා ය. යටත් විජිත පාලන යුගය සමඟ පිවිසි බටහිර සිරිත් විරිත් හා සම්ප්‍රදායයන් ඇසුරු කරගත් සිය ජාතිය පිළිබඳ තම අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙසින් සිංහල නවකතා කලාව යොදාගත් ප්‍රථම සිංහල නවකතාකරු වීමේ භාග්‍යය හිමිවනුයේ ඔහුට ය. එම ප්‍රථම කෘතිය ‘මීනා’ය.
අදින් සියවසකට වැඩි කාලකට පෙර දී ඔහු ලියූ ප්‍රථම සිංහල නවකතාව බිහිවූයේ 1905 වසරේදී ය. මේ කෘතිය ප්‍රකාශයට පත් වූ නිශ්චිත දිනයක් සඳහන් නොවේ. එය ඒ වසරේ ජූනි සහ ජූලි දෙමස ඇතුළත දී ප්‍රකාශයට පත්වන්නට ඇතැයි ලිපි ලේඛනයන්හි සඳහන් වේ. ඒ කෘතියෙහි මිල ශත 50කි. ඩිමයි කඩදාසියෙන් පිටු 123කින් යුත් එය මුද්‍රණය කර තිබුණේ කොළඹ ශ්‍රී ලංකෝදය මුද්‍රණාලය මඟිනි. ප්‍රසිද්ධ කොට ඇත්තේ අංක 259, කුමාරතුංග මාවත, මාතර යන ලිපිනයෙහි ඒ.ඒ.අයි. ද සිල්වා නමැත්තකු විසිනි. ‘මීනා’ රසවත් කථාන්තරය යනුවෙන් එහි මුල් පිටුවේ සඳහන් කොට තිබේ.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් 1943 වසරේදී පළකරනු ලැබූ ’Modern Sinhalese Fiction’ නමැති කෘතියෙන් පෙන්වා දී ඇති ආකාරයට ද සාහිත්‍ය විද්‍යාර්ථීන්ගේ පොදු පිළිගැනීමටත් අනුව ‘මීනා’ ප්‍රථම සිංහල නවකතාව බවට පත්ව තිබේ.
1905 ජූලි මස 18 වැනි දින ‘සරසවි සඳරැස’ පුවත්පතේ ‘මීනා’ පිළිබඳ විචාරයක් ද පළවී ඇත. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සංරක්ෂිත පිටපතකට අනුව එම විචාරය මෙසේ වේ.
’මීනා’ පොත දෙවන වරට මුද්‍රණය වූයේ වසර 60කට පමණ පසුවය. ඉන් වසර හතරකට පසුවත් 1969 වසරේදී තෙවන මුද්‍රණය නිකුත් විය. 1999 වසරේදී ද මුද්‍රණයෙන් නිකුත්වී තිබේ. 1997 වසරේදී ‘මීනා’ ඉංග්‍රිසි බසට පරිවර්තනය වී මුද්‍රණයෙන් නිකුත් වී තිබේ. එහි පරිවර්තනය එතුමන්ගේ බෑණනුවන් වූ රෙජිනෝල්ඩ් එල්. රාජපක්ෂ මහතා ය.
වසර 2000 දී තැපැල් දෙපාර්තමේන්තුව මඟින් එතුමා වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කළේ ය. ඒ සමඟ ම නිකුත් කරන ලද ප්‍රචාරක පත්‍රිකාවක එතුමා පිළිබඳ කෙටි සටහනක් ද පළවිය.
මෙතුමාගේ ආරම්භක කෘතිය ‘මීනා’ ලාංකේය නවකතාවේ ප්‍රථම සිංහල නවකතාව වශයෙන් හෙළයේ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් ද මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, පී. බී. සන්නස්ගල ආරිය රාජකරුණා ආදී විද්වතුන් ද අවිවාදයෙන් පිළිගෙන තිබේ. එමෙන්ම 1905 වසරේ සිට මෑතක් වනතුරුම ශ්‍රී ලංකාවේ පුවත්පත් හා සගරා රැසක පළ වූ ලිපිලේඛන ගණනාවකින් ‘මීනා’ කෘතියෙහි අන්තර්ගත සාහිත්‍යමය හා කලාත්මක අගයෙහි විශේෂිත බවක් ද හුවාදක්වමින් ‘මීනා’ කතුවරයාණන්ට සිය ප්‍රණාමය ද පිරිනමා ඇත.
සයිමන් ද සිල්වා 1874 වසරේ නොවැම්බර මස 14 වැනි දින උපත ලද්දේය. මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ඉංග්‍රිසි අධ්‍යාපනය ලබා පිරිවෙන් අධ්‍යාපනය තුළින් පෙරදිග භාෂා පිළිබඳ ව්‍යක්ත දැනුමකට ද හිමිකම් කීවේය. ලිපිකරුවකු ලෙසින් ඔහු 1895 වසරේ දී රාජ්‍ය සේවයට බැඳුණේය. මහා භාණ්ඩාගාරයේ වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් වැඩ බලන ලේකම් තනතුර දක්වා වෘත්තීය සුදුසුකම් ලද්දේ ය. හෙතෙම දීප්තිමත් රාජ්‍ය සේවකයකු වූයේ ය. කීර්තිධර ලේඛකයකු වූ අපේ කතානායකයා ඉතාමත් තැන්පත් දිවියකට ද හිමිකම් කීයේ ය.
ඔහු ජාතිහිතෛෂීයෙකි. සැදැහැබර බෞද්ධයෙකි. රාජකීය ඓතිහාසික සංගමයේ ලංකා ශාඛාවේ සාමාජිකයකු ද විය. ආගමික හා සාමාජික මෙන්ම සංස්කෘතික කටයුතුවලදී ද ක්‍රියාකාරී ලෙසින් දායක ව කටයුතු කළේ ය. දැහැමි දිවිපෙවෙතකට නැඹුරු දිවියක් ගතකළ ඔහු ලත් අවසරයකදී හඬ ගා කීයේ සැමට සම අධ්‍යාපනය ද කාන්තාවට සම අයිතිවාසිකම් ද ලබාදීමේ වැදගත්කම පිළිබඳ ව ය. ඒ වෙනුවෙන් සභා මැද තර්ක විතර්කයේ යෙදුණේ ය. සිය අදහස් නොපැකිළව හඬගා කීයේය.
සිංහල පාලි හා ඉංග්‍රිසි භාෂාව පිළිබඳ හසළ දැනුමැති අපේ කතුවරයාණෝ තවත් කෘති කිහිපයක් ද රචනා කළේ ය. 1907 වසරේදී ‘තෙරේසා’ සහ 1910 වසරේදී ‘අපේ ආගම’ නමින් සිංහල නවකතා දෙකක් ලියා එළිදැක්වූයේ ය. කාව්‍ය කෘතීන් හතරක් ද ශාස්ත්‍රීය වටිනාකමින් යුත් ලිපි රැසක් ද ලියා පළකොට ඇත්තේ ය. සිංහල ජාතික පුනරුද ව්‍යාපාරය ව්‍යාප්ත කොට දීප්තිමත් කරවීමට වෙහෙස ව ක්‍රියාකළ හෙතෙම සිය කාලය ද ශ්‍රමය ද රට දැය සමය වෙනුවෙන් ම කැප කළේ ය.
හමුදා සේවයේ පසු වූ ජා-ජාතිකයකු වූ අබ්දුල් නමැත්තකු ලෙන්චිනා නම් කාන්තාවක හා විවාහවීමෙන් පසු එම යුවළට රූමත් දියණියක ලැබේ. ඈ නම මීනා ය. උස්මහත් වූ ‘මීනා’ දියණිය ද කැටුව ගම්පොළට යන එම යුවළ හොර සූදු ව්‍යාපාරයක නිරත ව දිවිපෙවෙත ගතකරද්දී මහලු තැනැත්තියක සේ වෙස්වලා පසුවන රූමත් තරුණ මීනා සූදුවට එන්නන් හට සංග්‍රහ දක්වන්නී ය. මැහැලියක වනුයේ ආගන්තුකයන්ගෙන් ආරක්ෂා වනු පිණිස ය. එහි දී මහා කෝලාහලයක් සිදුවෙයි. එහි තරුණයකු මීනා ඔසවා කැලෑ වදින කල තවකෙකු ද එක්වීමෙන් මුල් තරුණයා ඈ හැරයයි. ඩැනී නමැත්තකුට පෙම්වතියක වන මීනා පසුව ඔහුගෙන් ද වෙන්වී පවුලිස් නමැත්තකු හා විවාහ වේ. මීනා හි කතා සාගරයේ කෙටි වදනකි ඒ. මෙහි කතානායිකාව මීනා ය. ඩැනී හා පවුලිස් ප්‍රේම ත්‍රිකෝණයේ පසුවේ.
දොස්තර හැරී වික්‍රම නමැත්තකු, මහල්ලකු හා සොරමුල මෙහි සෙසු චරිතාංගයෝය. ආර්ය සිංහල කුලකාන්තාවක පිළිබඳ ව වූ චිත්‍රය සිංහල ප්‍රබන්ධ කතාකරුවන් අතර ප්‍රචලිතව පැවැති යුගයකදීය ‘මීනා’ රචනා වූයේ. එවක සමාජ පසුතලය ‘මීනා’ කතාවට සසඳා ඇති අතර එදා පැවැති සංස්කෘතිකමය වෙනස ද ඉන් පිළිබිඹු කරවයි. කතුවරයාගේ වාග් කෝෂය ඉහළ මට්ටමක පවත්නා බැව් ද විද්වතුන් දක්වා තිබේ. මෙම නවකතාව තුළින් ඉස්මතු වන අද්භූත සිද්ධීන් හා ගැහැනු පිරිමි එක්තරා අන්දමකින් සැබෑ ජීවිතයේ දී හමුවීම් වශයෙන් ගොඩනඟා තිබීම ද කිසියම් ප්‍රමාණයකින් දක්වා තිබේ. සෑහීමකට පත්විය හැකි චරිත කිහිපයක් මුල්වරට සිංහල පාඨකයාට මීනා කෘතියෙන් ඉදිරිපත් වී තිබේ. මේ විචාරකයන්ගේ අදහසය.
සිංහල බසට අව්‍යාජ ව ආදරය දැක්වූ හෙතෙම ‘කුමාරොදය වර්ණනාව‘ රචනා කළේ ය. මෙය ඉතා රසවත් රචනාවක් බව පැවසේ. ඒ කෘතියෙහි කවි 180කි. එඩින්බරෝ ආදිපාදයන් මෙරටට පැමිණීමේදී මෙරට පැවැත්වූ ක්‍රීඩා, පෙරහරක් පිළිබඳව රචනා කරන ලද ‘ඉංග්‍රිසි මාලය’ නම් පද්‍ය රචනාව ද ඔහුගේ ය. එය හෙළ බස හා සිංහල සාහිත්‍යයේ ප්‍රගමනය උදෙසා ලියූවක් බව කියැවේ. සිය ජීවිතයේ අඩකටත් වඩා සිය බස වෙනුවෙන් හෙතෙම කැපවී කටයුතු කළේ ය.
වෙසෙසින් පැවසිය යුතු කරුණක් ද වේ. සිංහල නවකතාව ජනප්‍රිය සාහිත්‍යාංගයක් බවට පත්කරවීමට මඟ පෑදූ පියදාස සිරිසේන ශූරීන්ගේ මුල් කෘතිය වන ‘ජයතිස්ස සහ රොස්ලින්’ පළවීමට වසරකට පෙර, එනම් 1905 දී මීනා නවකතාව පළවූයේ ය.
මේ නවකතාව ලියන්නට තමන් පෙලැඹුණේ සිංහල බසින් ලියැවෙන රසවත් කතන්දර කෘතීන් විරලවීමත්, තමන් තුළ රට ජාතිය සහ භාෂාව පිළිබඳ ව පවත්නා බලවත් ඇල්ම නිසා බව ද මීනා කතුවරයා සඳහන් කොට තිබේ. මීනා කතාවස්තුව ප්‍රේම වෘත්තාන්තයකි. එහි කතානායිකාව අලුත් සහ පැරණි පන්නයේ සංකලනයක් යැයි කියැවේ.
අරාබි නිසොල්ලාසයේ ආභාසය ගෙන පාඨක ඇස යොමු කරවා ගැනීමට වෙහෙසෙමින් අද්භූත කතාවක් ලිවීමේ ආශාව හා තාත්වික චරිතයක් අනාවරණය කිරීමේ ආශාව ද සයිමන් ද සිල්වා කතුවරයා තුළ තිබී ඇත. මීනා ලියද්දී ඔහු තුළ බලවත් සටනක් සිදුවී ඇති බව විචාරයක යෙදුණු ඊ.ආර්.සරච්චන්ද්‍ර ශූරීහු එහිදී ඔහුගේ චරිත නිරූපණයේ ආශාව අවසානයේ දී ජයගෙන ඇතැයි ද සඳහන් කර තිබේ.
1905 ජූලි මස 28දා ‘සරසවි සඳරැස’ පුවත්පතේ ’මීනා’ පිළිබඳ විචාරයක් ද පළකොට තිබේ. මීනා පිළිගන්වන ලද්දේ ගරු ඇස්.සී.උභයසේකරතුමා වෙත බව ද කියැවේ. මෙම පොත සිංහලයන්ගේ විවේක කාලයේ කියැවීමට සුදුසු එකක් බැවින් බොහෝ අලෙවි වනු නිසැක බව ද විචාර ලිපිවල සඳහන් වේ.
සයිමන් ද සිල්වා මහතාගේ ජීවන තොරතුරු ඉතාමත් විරල ය. දූ පුතුන් හෝ භාර්යාව පිළිබඳව ද තොරතුරු සොයාගැනීම ඉතා දුෂ්කර විය. ඔහු උපන්නේ කලුතර, වස්කඩුවේ බව කියැවෙන අතර ජීවත්වූයේ බොරැල්ල කොටා පාරේ ෆෙයාර්ෆීල්ඩ් ගාඩ්න් හි ‘මීනා කොටේජ්’ නම් සුවිසල් වලව්වක බව ද ඇතැම් ලේඛනවල දැක්වේ.
ඔහු අවුරුදු අසූවක් ආයු වින්දනය කළ බවක් ද ඔහු අකල් මරණයකට ගොදුරු වූ බවක් ද යන ද්වි ඝට්ටනක මත තැන් තැන්වල සඳහන් වී තිබිණි. එහෙත් කෙසේවත් විසඳාගත නොහැකි මේ කාරණාවේදී ඔහුගේ පවුලේ ඥාතියකු සොයන්නට මා තීරණය කළෙමි. පළමුව ගියේ බොරැල්ලට ය. එහි එදා ‘මීනා කොටේජ්’ නිවස නැත. ඒ වෙනුවට එහි ඇත්තේ සුවිසල් ගේට්ටු සහිත දෙමහල් නිවාසය.
උදව් පතා බොරැල්ල තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයාට කාරණය කීවෙමි. ඔහු ද ඔහුගේ උසස් නිලධාරියකු අමතා විමසා බැලීය. ඒ අනුව ෆෙයාර්ෆීල්ඩ් හි අංක 29 නිවසට ගොඩවැදුණෙමි. එහි පසුවූයේ පරසිදු ලේඛක පරපුරක සාමාජිකයකු වන වී. ඩී. ලැනරෝල් මහතාගේ ලේඛිකාවක වන දියණියකි. ‘ඒ පරපුරේ අය මෙහෙ දැන් ඇත්තේ නෑ’ ඈ කීවිට මගේ වෑයම පළුදු වන්නට නොදෙමින් තවත් වෑයම් කළෙමි. ඒ අනුව වස්කඩුවේ ද කිසිවකු හමුනොවූයෙන් මාතර බලා ගියෙමි.
ගිනිමද්දහනේ අංක 259 නිවස සොයා මා පා ගමනින් ගියෙමි. මීනා කතුවරයා පිළිබඳ තතු සැකහැර ඔබට කිව යුතුය. කුමාරතුංග මාවතේ දිගු දුරක් ඉදිරියටම ගියෙමි. අංක 259 නිවසෙහි තරුණ මහත්මයකු හා ඔහුගේ බිරිය මා ගෙට කැඳවනු ලැබීය. ඔහු මඟනැඟුම උඩුකාව ව්‍යාපෘතියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කපිල සමරවීර මහතා ය. ඇය දකුණු පළාතේ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ මධ්‍යස්ථානයේ පරිපාලන නිලධාරිනී රශ්මි පුරසිංහ මහත්මිය ය.
අපේ කතුවරයාට ඇති ඔවුන්ගේ නෑකම වූයේ ඔවුන් දෙපළගේ මුත්තා වීමයි. රෝද පුටුවකට බරදුන් අයිරාංගනී ශ්‍රිමතී පුරසිංහ (77) මාතාවට මා පැමිණි කාරණය හෙළි කළෙමි.
“සයිමන් ද සිල්වා කියන්නෙ මගේ අම්මාගෙ තාත්තා. මගේ සීයා.”
අපේ කතා නායකයාගේ බිරිය කලුතර වස්කඩුවේ සේරසිංහ මහත්මිය ය. ඔවුනට දියණියන් දෙදෙනෙකි. පුතුන් දෙදෙනකි. ගිල්බට් සිල්වා, එස්මන් සිල්වා පුතුන් වේ. සම්මානී රාජපක්ෂ සහ ඩොටී දියණියන් දෙදෙනා ය. ‘සම්මානී ගේ දියණිය මමයි” ඈ කීවාය.
දැන් මා සිටින්නේ ඒ පාරම්පරික නිවසේ. අපේ කතුවරයා උස මහත පාංශුදේහධාරී පුද්ගලයකු වුවද නිවුණු තැනැත්තෙකි. හෙතෙම කලිසමට උඩින් සරමක් ද ඇන්ද බව ඈ කීවාය. මහාචාර්ය ආර්.එල්.රාජපක්ෂ මහතා (මැයගේ සොහොයුරා) මීනා ඉංග්‍රිසි බසට පරිවර්තනය කර ඇත. සයිමන් ද සිල්වා මහතා මිය යන විට අයිරාංගනී මැතිනියට වයසින් අවුරුදු 17කි. ඔහුට රෙදි වහළයකින් සැදි මොරිස් මයිනර් රථයක් ද තිබී ඇත. වයසින් අවුරුදු 48 දී හෘදයාබාධයක් හේතුවෙන් අකල් මරණයකට ලක්වූ අපේ කතානායකයා ගේ හදවතෙහි තම දූ දරුවන් පිළිබඳ ව අපේක්ෂාවන් රැසක් තිබුණේ ය. ඔහුගේ (තම සීයාගේ) අකල් මරණය පවුලේ කිසිවකු නොසිතූවක් බව ද පැවසුවාය. ඒ පරම්පරාවේ මේ වන විට ඉතිරිව සිටින්නේ ඇයත් තව දෙදෙනෙකුත් පමණි.
සයිමන් ද සිල්වා කතුවරයා ගේ දුර්ලභ ගණයේ පැරණි ඡායාරූප ද ඔහුගේ ලිපිලේඛන ද මතු පරපුර දැනුම්වත් කරවීම උදෙසා පුස්තකාල වෙත සපයන්නට ද ඔවුහු සූදානම් වෙමින් සිටී. ඒ වෙනුවෙන් මාගේ සහයද ඉල්ලා සිටියහ. බොරැල්ලේ සුවිසල් වලව්වේ පදිංචිව සිටිය දී අපේ කතුවරයා හදිසියේ මියයාමෙන් පසු බිරිය සිය දරුවන් සමඟින් මාතර පදිංචියට පැමිණ තිබේ.
ස්වකීය ජීවිතයේ දෛවෝපගතව කෙටි ආයු වින්දනය කළ අපේකම වෙනුවෙන් කැපව ක්‍රියාකළ ශ්‍රී ලංකාවේ මුල්ම නවකතාවේ කතුවර සයිමන් ද සිල්වා මහතා බොරැල්ල ෆෙයාර්ෆීල්ඩ් ගාඩ්න් හි ‘මීනා කොටේජ්’ සිය සුවිසල් නිවසේ දී හදිසියේ මෙලොව හැර යන්නට වූයේ 1922 සැප්තැම්බර මස 23 වැනිදාය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.