ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 20, 2014

කුංකුණාවේ හාමුදුරුවෝ

නිර්මාණ ලෝකයේ දැවැන්තයන්ගේ ජීව දත්ත හා අප්‍රකට තොරතුරු ඇතුළත් විශේෂාංගය

මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට පිහිටි නාථ දේවාලයට බරවී තිබුණේ ඒ සමීපයේ පිහිටි සුවිසල් බෝ රුකක අත්තකි. නාථ දේවාලයේ වහළයට ආපදාවක් සිදුවන්නට පෙර මේ බෝ අත්ත කපා දමා ඉවත් කළ යුතුය. එහෙත් බෝ අත්ත කපා දැමීමට කිසිවකු ඉදිරිපත් වූයේ නැත. රාජාධිරාජසිංහ (1780 – 1798) රජතුමා මැදිහත් වුවද බෝ අත්ත කපා දැමීමෙන් මහත් පාපයක් ද වස් වැදීමට ද ඉඩ ඇති බවක් කියැවීමෙන් කිසිවකු ඒ සඳහා ඉදිරිපත් නොවිණි. බෝ අත්ත දෙස බලා සිටි පිරිස අතරට එක්වූයේ එක් හිමිනමකි.


’අපෙ හාමුදුරුවනේ, මේ බෝ අත්ත කපා දමන්න කෙනෙක් නැති හැටි” රාජාධිරාජසිංහ රජුන් උන්වහන්සේට කීවේ ය.
”ඒකත් එහෙමද? හොඳා – මං කරල දෙන්නම්” යැයි පැවසූ එහිමියන් මොහොතක් නිසල ව බෝ අත්ත දෙස එක එල්ලේ බලා සිටියහ. අනතුරුව, අඩියක් පසුපසට වැඩියහ. මෙසේ කවියක් කියන්නට වූහ. එය වස් කවියකි.

”දම් රූ විමන බෝ අත්තෙන් වැසී ගියා
පව් කළ උළු සෙවිලි පරවල් දිරා ගියා
අන් බසකට නොනැමෙන ගෝර බණ් ඩියා
සුන්කර හරින් තෙදබල වීර මුණ් ඩියා


කවිය නිමාවත්ම ක්ෂණයකින් හමා එන්නට වූයේ සැඬ සුළඟකි. බෝ අත්ත ජිරි –ජිරි හඬක් නංවමින් කැඩී උඩවත්ත වනරොදට පාවී ගොස් බිම ඇද වැටුණේ ය. මෙදෙස බලා සිටියවුන් මෙන්ම රාජාධිරාජසිංහ රජු ද බියෙන් ත්‍රස්ත ව එක් අතකින් මුව වසා ගත් ගමනින් යුතුව පුදුමයෙන් බලා සිටින්නට වූයේය. ‘දැන් ඒ කාරිය හරිනේ’ යැයි විමසූ එහිමියන් ආපසු වැඩියහ.
මහනුවර යුගයෙහි සිංහල ජනකවියෙහිලා හිමිවූයේ සුවිශේෂී අද්විතීය ස්ථානයකි. මේ යුගයේ කවියෙන් වැඩගත් අයවලුන් අතර භික්ෂූන් වහන්සේලාට හිමිවූයේ ප්‍රමුඛස්ථානයකි. අපේ කතානායක හිමියෝ ද ඒ යුගයේ කවියෙන් උපන් හපන්කම් පෑ එඩිතර ගතිපැවතුමින් යුතු හිමිනමකි. තැනට සුදුසු නුවණ ඇත්තෙකි. භාෂා ශාස්ත්‍රයන්හි නිපුණයෙකි. උපහාසයෙහි ද හාස්‍යයෙහි ද වාග් ප්‍රහාරයෙහි ද සමර්ථයෙකි. වස්කවි කීමෙන් ලොව ම විශ්මයට පත්කළ හිමිනමකි. එහිමියෝ කුංකුණාවේ සුමංගල හිමියෝය.
නැතහොත් කුංකුණාවේ හාමුදුරුවෝය. උන්වහන්සේගේ වස් කවියෙහි ප්‍රබලත්වය කොතෙක් ද යත් සාමාන්‍ය ජනයා පමණක් නොව එදවස රට කරවූ පාලකයෝ ද බියටත් පුදුමයටත් පත්වී සිටියහ. කිසිවකු ඉදිරියේ නිවට නියාලු නුවූ අපේ හිමියන් කිව යුත්ත රජුට වුව නොපැකිළව කීයේ ය. වරද දුටු තැන රජුට වුව ‘පද හතර ගලපන්නදැයි මුහුණටම ඇසූහ. උන්වහන්සේගේ වස් කවියේ බල මහිමය ඇස් පනාපිට ම ඉෂ්ට සිද්ධ වී තිබීමෙන් එහිමි රටතොට ප්‍රසිද්ධියට පත්වූහ.
කුංකුණාවේ හාමුදුරුවන්ගේ ගුරු හිමියන් වූයේ ලක්දිව අඳුරින් වැසීගිය බුදුසසුන යළි නඟා සිටුවා ඒකාලෝක කරවන්නට ඇප කැපවූ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන්ගේ සිව්වන ශිෂ්‍යයා වූ වැරසැර රඹුක්වැල්ලේ හෙවත් කුණ්ඩසාලේ විහාරාධිපති ව වැඩ විසූ රඹුක්වැල්ලේ ධම්මරක්ඛිත හිමියන් ය. ධම්මරක්ඛිත හිමිගෙන් මනා සේ සිප්සතර ප්‍රගුණ කළ කුංකුණාවේ හිමියන් කෘතීන් කිහිපයක් ද රචනා කළහ. ඉන් ‘රාම සංදේශය’ ප්‍රශස්ත කෘතියකි. එය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට සෙත්පතා ප්‍රබන්ධිත කෘතියකි. ‘වෙහෙර විත්ති’ කෘතිය ද උන්වහන්සේගේ ප්‍රබන්ධයකි.
සත්කෝරළය නිජබිම කොටගත් කුරුණෑගල මොරගොල්ලාගම මාර්ගයේ මානපහ ග්‍රාමයේ පුරාණ බෝධිමළු විහාරයෙහි එහිමියන් මුල්කල දි වැඩ විසූ බව ද කියැවේ. එහිමියන් නොයෙක් තැන්හි දී කියන ලද හිටිවන කවි හා වස්කවි පිළිබඳ කරුණු පුරාණ සිව්පද සංග්‍රහය සහ දෙගල්දොරුවේ රතනපාල හිමිගේ කෘතිවල ද සඳහන් වේ. කොටගම වාචිස්සර හිමියන්ගේ සරණංකර සඟරාජ සමය කෘතියේ ද තවත් කෘති ගණනාවක ද එහිමිගේ වස් කවි කීමෙහි ව්‍යක්ත බව පිළිබඳ ව දැක්වේ.
මුවින් පිටවන වචනයෙහි ගැබ් ව ඇති විස්මිත හාස්කම් පිළිබඳ ව දනන් තුඩ තුඩ රැඳී තිබුණේ කොතෙක් ද යත් වරද දුටු තැන එහිමි වස් කවි කීමට මැළිනොවනා බව දත් ජනයා උන්වහන්සේ හමුවේ නිවැරැදි ව හැසිරිමට ද වගබලා ගත් බව පැවසේ. එපමණක් නොව එ දවස පාලකයෝ ද එහිමිට බියපත් වූ තරම නම් උන් වහන්සේගේ වචනයට පිටින් කිසිත් නොකීහ. වස් කවියේ හාස්කම් අත්දුටු රජුන් ද සෙස්සන් ද සංඝයා වහන්සේට එරෙහිව කිසිවක් නොකියන්නට ද නොකරන්නට ද වගබලා ගත්හ.
දිනක් අපේ කුංකුණාවේ හිමිට උපාසිකාවකගෙන් ලැබුණේ පැදුරකි. පැදුර පිළිගත් එහිමි පැදුර ආනෙහි තැබූහ. ගතවූයේ දින කීපයකි. පැදුර එළියට ගත් හිමිට දැකගන්නට ලැබුණේ පැදුර පාවිච්චියට ගත නොහැකි තරමට මීයන් කා දමා ඇති සැටියකි. තරහ උපන් හිමි, මීයාට වස් කවියක් කීවේ මෙසේලු.

’මද මත් රූසිරි අඟනක් දුන්නා
පැදුර ගෙනැත් තැබුවෙමි ආනේ
බැඳගත් වාදෝ දෝ මට නොදැනේ
මීයා පැදුරට කළ මානේ”

”තෙදවත් දේවත බණ්ඩර සුරිඳුට
කවියක් කියනෙමි මේ මානේ
අදවත් මීයගෙ තල්ල කඩාගෙන
පලයන් නින්නාදේ පුනේ”


වස් කවිය කියා හමාර වූ සැණින් පැදුරු ආනට කොහේදෝ සිට දිව ආ බළලකු එහි ලැග සිටි මීයන් දෙතුන් දෙනාම කා දැමුවේලු.
උන්වහන්සේගේ ස්වභාවය නොරිස්සූ අයද වූහ. හතර කෝරළේ ලෙව්කේ දිසාවේ ද මින් එක් අයෙකි. “කුංකුණාවේට මං අඹරන්නංකො හොඳ මට්ටුවක්. මේ ලෙව්කේ දිසාවෙ කවුද කියලා” ලෙව්කේ දිසාව කී කතාවකි ඒ.
දිනක් හෙතෙම සිය මැදුරෙහි සාංඝික දානයක් පිළිවෙළ කළේ ය. ඊට කුංකුණාවේ හිමියන්ට ද ආරාධනය කළේ ය. එහිමි ද වැඩියහ. එහිමි බලවත් අපහසුතාවයකට පත් කරවීම එහි අරමුණ විය. දානය පිළිගැන්විණි. කෑලිවලට නොකපා තිබූ ලොකු මස් කුට්ටියක් හිමිගේ පාත්‍රයට බෙදූ ලෙව්කේ දිසාව පසෙකට වී බලා සිටින්නට වූයේ ය. දෑතින් ම ගත් විශාල මස් කුට්ටිය දෑතින් ම අල්ලාගෙන මුවපුරා තවරාගෙන දතින් ඉරා කන අයුරු බලා සිටි දිසාවේ කොක්හඬ දී සිනාසී සමච්චල් බැල්මක් හෙළීය.
”මේ මොකද අපෙ හාමුදුරුවනේ අද සුනඛ සෙයියාවෙන් ම වළඳන්නේ?” යැයි දිසාවේ හිමිගෙන් විමසූවේ අවට සිටියවුනට ද ඇසෙන සේය. කිසිත් කළබලයක් නොපෙන්වූ එහිමි ගත් කටට ම මෙසේ කීවේලු.
”සුනඛයන් දුන් දානෙ සුනඛ විදිහට ම වළඳන්නට එපායැ දිසාවෙ“
ලෙව්කේ දිසාවගේ මුහුණ කළු වූයේ ය. හිමියන් මට්ටු කරන්නට තිබූ අදහස ද එයින් ම දිසාවේ අත්හැර දැමුවේලු.
කුංකුණාවේ හිමියන්ගේ පන්සල්වත්ත භව බෝගවලින් ද පිරී තිබිණි. වගාවට කැමැත්ත ඇති එහිමි බොහෝ විට කැත්තේ උදැල්ලේ කාරිය ද තවත් අය එක් ව කළහ. එහෙත් එහිමිගේ සිත් බින්දේ වල් ඌරෙකි. වල් ඌරා තම වගාවන් එක රැයෙන් විනාශ කර තිබෙනු දුටු හිමිගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියහ. එහි දී කී වස් කවිය මෙසේ වීලු.

”රටල ගෝනල කඩල කටුවල
ගහල හිඟුරල කොඬොල වල් අල
කිතල හිරිතල හබල කුකුළල
බතල කරටි ද කමින් හබරල
අමුද කුරහන් මෙනේරී උඳු
මෑ ද ගොවිතැන් නොයෙක පලවැල
මෙකල නැතිකළ සතුරු ඌරා
හෙළන් කලු පැදි යකුනි තෙද බල


පසුදා හිමිදිරියේ දක්නට ලැබුණේ ඒ වල් ඌරා පන්සල් වැට මායිමේ මැරී සිටි සැටිලු.
එදවස ගමන බිමන පා ගමනිනි. දිනක් මහනුවරට යාමට යොදුන් තුනක පමණ දුරක් පයින් ම යාමට එහිමිට සිදුවිය. එය දින දෙකක ගමනකි. පළමු දිනයේ රෑ කළුවර වැටෙන යාමයේ අපේ හිමියන් තමන් දන්නා හඳුනන පන්සලකට වැඩියේය. එහි දොරට තට්ටු කළහ.
”මේ කවුද? මේ රෑ මොකද?” දොර පියන බාගෙට විවර කළ ඇබිත්තයා ඇසුවේ ය.
අපේ හිමියන්ගේ වචන උච්චාරණය නාසයෙනි. නැතිනම් එය මුක්කං භාෂාවකි. ඒ උපන් හැටි ය.
”ලොහ්කු හාංම්දුරුවො ක්හෝ?” එහිමිගේ කතා විලාශය ඇසූ කොලුවාට හිනාගියේ ය.
”අප්පේ-හ් ලො-හ්කු හාංම්දුරුවොහ් බ-බෑරක් ගෙහ්-හුං” ඇබිත්තයා උන්වහන්සේ ගේ කතා විලාශය අනුකරණය කරමින් පිළිතුරු දුන්නේලු. ඉන්පසු දොර වසාගත්තේලු.
කිසිත් නොදොඩා ආපසු හැරී පැමිණි හිමි නුදුරුව පිහිටි අම්බලමකට ගොඩ වී ගිමන් හැරියහ. හැඳ සිටි සිවුරින් තමන් සිටිනා ස්ථානය වටකොට, අඳනය පිටින් එහි දිගාවූ යේ ය. පසුව පිල්කඩට පැමිණි හිමි පන්සල දෙස බලා සිට මෙසේ කවියක් කීයේලු.

”පන්සලේ සිටින දික් බෙරවා දණ්ඩා
සන්සලේ කරයි සඟ ගණ වන සණ්ඩා
තුන්කලේ වෙසෙන දෙවියෝ පිං ගන්ඩා
පැන්කළේ සේම උගෙ බඩ පුපු රන්ඩා


ගමන ගොසින් ආපසු පන්සලට වැඩම කළ එහි නායක හිමියන් ගේ දෑස් මහත් විණි. මුව ඇරිණි. පුදුමයට ද බියට ද පත්විණි. ඉදිමී ගියාක් මෙන් වූ කළගෙඩියක් තරම් විශාල ව ගිය බඩක් දරාගත නොහැකිවාක් මෙන් හතරගාතෙන් බිම ඇද වැටී සිටි ඇබිත්ත කොලුවාගෙන් ‘මොකද තට වුණේ?’ යැයි විමසූහ. කොලුවා බලාගත්වන ම ය.
”කවුරුත් පන්සලට එහෙම ආවාද බොල?” නායක හිමියන් සැරෙන් ඇසුවේ ය.
”ආවා ආවා - නාහෙන් කතා කොරන හාමුදුරුනමක් නම් ආවා - අද රෑ ඉන්ඩ ඇහුවා ම මං බැහැ කියාල දොර වැහුවා.”
”මදැයි – විනාශයි. කොහේටද උන්වහන්සේ වැඩියේ?” කියා විමසමින් ම මිදුලට බැසගත් නායක හිමියෝ අඩ අඳුරේම අම්බලම දෙසට ගියහ. ඇතුළට එබී බැලූහ. අම්බලමේ වාඩි වී පසුවන තම හිතවත් හිමියන් දැක වහා දෑත් අල්වා ගත්හ.
”සමාවෙන්ඩ - සමාවෙන්ඩ අපෙ හාමුදුරුවනේ. යමු යමු පන්සලට”
මෙතැන මට හොඳා යැයි කී එහිමියනට යළිත් පින්සෙණ්ඩු වූ නායක හිමියන් ගෞරව පෙරදැරි ව පන්සලට කැඳවා පැමිණියහ.
”අනේ අපේ හාමුදුරුවනේ, අර මෝඩ කාලකණ්ණියා මැරේවි. උගෙ බඩ ඉදිමිලා”
අසල තිබූ කෝටුවක් අතට ගත් කුංකුණාවේ හිමි කෝටුවට මෙසේ කීහ.

පන්සලේ වෙසෙන දික් බෙරවා දණ්ඩා
සන්සලේ කරපි සඟගණ රව ටණ්ඩා
තුන්තලේ වෙසෙන දෙවියෝ පිං ගන්ඩා
පින් බලේ ලෙසට උගෙ පණ බේ රන්ඩා


කෝටුවෙන් බඩට සෙමින් වරක් තට්ටු කළේ ය. මළ මුත්‍ර පිට කර හරිමින් කෙඳිරිලි නඟා අමාරුවෙන් පසුවූ කොලුවා සුවපත් වූවාක් මෙන් නැඟී සිටියේලු.
කීර්ති ශ්‍රී රාජසිංහ (1747 – 1781) පාලන සමයේ දී එක් ලන්දේසි ආක්‍රමණයක් සිදුවිය. රජු ද උභය විහාරයීය (මල්වතු හා අස්ගිරි) වාසී භික්ෂූහු ද දන්ත ධාතූන් වහන්සේ ද රැගෙන ආරක්ෂාව පතා මහනුවර අත්හැර පලා ගියහ. ලන්දේසීහු කන්ද උඩරට එකම සොහොන් පිටියක් බවට පත් කළහ. මිනිස් පුළුටක් නොදකින එදා මහනුවර නගරයේ මල්වතු විහාරයේ හුදකලාව පසුවන්නට වූයේ වැලිවිට ශ්‍රීී සඟරාජ හිමියන් ය. වයෝවෘද්ධ ව රෝගා පීඩාදියෙන් ද කිසිවකුගේ හව්හරණක් නොමැති ව පසුවිණි. කන්ද උඩරට නිතර වෙඩි හ¼ඩින් ගිගුම් දුනි. ඒ අතරේ දී වැලිවිට සඟරාජ හිමියනට සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට පැමිණි අපේ කතානායක කුංකුණාවේ හාමුදුරුවෝ උන්වහන්සේ පසුවන අයුරු දැක මහත් කම්පිත ව දෙපා වැන්දාහ.
”අපෙ හාමුදුරුවනේ, කන්ද උඩරට අද පාළුවට ගිහින්. අපි මැණික්දිවෙලට හෝ සූරියගොඩට වඩිමු”

”කටුපහනේ මං කොහොමද යන්නේ
අරිටු සිහිල් නළ කෙලෙස විඳින්නේ
පවිටු ලෙඩක් මට නිබඳ තිබෙන්නේ
තුටු කළ උවටැන් කවුද කරන්නේ


දෙන්ඩ ගන්ඩ දෙයකුත් නැති වෙච්චී
සිරුර දිරා දැන් ජරපත් වෙච්චී
අතපය මගෙ දැන් සවි නැති වෙච්චී
අසූ වයස දැන් මෙමට පිරිච්චී”


වැලිවිට සඟරාජ හිමිගේ කව අසා හුන් කුංකුණාවේ හිමිගේ දෑස කඳුළින් පිරී ගියේ ය. වහා සඟරාජ හිමි තම කරමතට ගත් උන්වහන්සේ සූරියගොඩ හරහා මැණික්දිවෙල පන්සල දක්වා පා ගමනින් වැඩියහ. වැලිවිට සඟරාජ හිමියන් කුංකුණාවේ හිමියන්ගේ යහපත් ක්‍රියාව අගයමින්, පැසසුමින් යුතුව වැල්ලාගල විහාරය පවරා දෙනු ලැබූහ.
සඟරජ වුණත් ගම තුම්පනේ යැයි කීර්ති ශ්‍රී රාජසිංහ රජු මුවින් පිටවූයේ සඟරාජ හිමියන් හිතුමතයේ දුන් බලු කපුටු දානයක සිද්ධියකිනි. වැලිවිට හිමියන් රජ වාසලට කැඳවා එන ලෙස දන්වමින් රාජකීය පල්ලැක්කිය ද පන්සලට එවනු ලැබිණි. සඟරාජ හිමි වෙනුවට එහි ගියේ කුංකුණාවේ හිමි ය. දෙදෙනාම රුවින් සමාන බවක් පෙනුණ ද කුංකුණාවේ හිමි සඟරාජ හිමිට වඩා මඳක් උසැති ය. රජු ප්‍රශ්න තුනක් විචාළේ ය. පොළවේ හරි මැද කොතැනදැයි විමසූ කල වහා හැරමිටියක් ඉල්ලා ගත් එහිමියෝ මේන් මෙතැන යැයි පෙන්වූහ.
”අහසේ තාරකා කොපමණදැයි ප්‍රශ්න කිරීමේ දී එහිමි දුන් පිළිතුර මෙසේ විය.
”අසූ තුන්ලක්ෂ විසිහතර දහස් නවසිය විසිතුනයි” රජු හිස වැනී ය.
’හොඳයි -මේ වේලාවේ මගෙ හිතේ තියෙන දේ කියමු බලන්ඩ’
කුංකුණාවේ හිමි රජුගේ මුහුණ දෙස බැලූහ.
-රජ්ජුරුවෝ හිතන් ඉන්නෙ මේ කතාකරන්නෙ වැලිවිට සඟරාජ කියලද? නැහැ මං කුංකුණාවේ හාමුදුරුවෝ..”
කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ මුහුණේ සිනාව ද අතුරුදන් වී, හදිසි කටයුත්තකට මෙන් ඈත් මෑත් වී යන්නට වූයේ ය. කුංකුණාවේ හාමුදුරුවන්ගේ කට කොනකට මඳ සිනාවක් නැඟිණි.



වතගොත
නම - කුංකුණාවේ සුමංගල හිමි
මහනුවර යුගය - රාජාධිරාජසිංහ, ශ්‍රී වික්‍රම රාජසිංහ හා කීර්ති ශ්‍රී රාජසිංහ සමයේදී වැඩ විසූහ.
ග්‍රන්ථ - ’රාම සංදේශය’, ‘වෙහෙර විත්ති’
ගුරු හිමි - වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර සඟරාජ හිමිගේ සිව්වන ශිෂ්‍ය කුණ්ඩසාලේ විහාරාධිපති රඹුක්වැල්ලේ ධම්මරක්ඛිත හිමි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.